එස්.බී. නාවින්න ආණ්ඩු පක්ෂ රැස්වීම ප්‍රතික්ෂේප කරයි

Tuesday, 01 October 2019 - 13:13

%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%B6%E0%B7%93.+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. නාවින්නට අනිද්දා අරලියගහ මන්දිරයේ පැවැත්වෙන ආණ්ඩු පක්ෂ රැස්වීමට පැමිණෙන ලෙස ආරාධනාවක් සිදු කර තිබෙනවා.

කෙසේ වෙතත් තමන් ඊට සහභාගි නොවන බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී මන්ත්‍රීවරයා කියා සිටියේ.

පසුගිය වසරේ ඔක්තොම්බර් 26 වනදා සිදුවූ ආණ්ඩු පෙරලියෙන් පසු හිටපු අමාත්‍යවරුන් වන එස්.බී. නාවින්න, ආචාර්ය විජේදාස රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක ප්‍රියන්ත සහ ආනන්ද අලූත්ගමගේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත්කළ, මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවට සහය පළ කළා.

මේ හේතුවෙනුයි පසුගියදා පක්ෂයේ විනය කඩ කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ එස්.බී. නාවින්න ඇතුළු එම මන්ත්‍රීවරුන් පස්දෙනාගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කටයුතු කරනු ලැබුවේ.

එහිදී දැනුම් දී තිබුණේ සතියක් තුලදී මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසයි. ඒ අනුව පක්ෂ සාමාජිකත්වය අත්හිටුවූ මන්ත්‍රීවරුන් ඒ සම්බන්ධයෙන් කරුණු දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා වෙත ලිපි යොමුකර තිබෙනවා.

එස්.බී. නාවින්න මන්ත්‍රීවරයා පසුගියදා ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස හමුවී ඔහුට සහය ද පළ කළා.