සංවෘත කළත් දුම්රිය වර්ජනය දිගටම

Tuesday, 01 October 2019 - 19:06

%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B7%85%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B6%A7%E0%B6%B8
අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී පිළිගත හැකි විසඳුමක් ලබාදීමට අපොහොසත් වීම නිසා වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තිය සමිති ප්‍රකාශ කළා.

මේ අතර, දුම්රිය, සංවෘත සේවාවක් බවට පත් කිරිමට අද පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවූ බවයි වැඩබලන ප්‍රවාහන අමාත්‍ය අශෝක් අබේසිංහ කියා සිටියේ.

වැටුප් විෂමතා මුල් කරගමින් දුම්රිය රියදුරන්, නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන් හා අධීක්ෂණ කළමනාකරුවන් ඇතුළු දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් මෙම වර්ජනය ආරම්භ කළ අතර, රට පුරා ක්‍රියාත්මක වර්ජන සම්බන්ධයෙන් සොයාබලා විසඳුම් ඉදිරිපත් කිරීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව ඊයේ රැස්වී ගැටළුව පිළිබඳව සාකච්ඡා පැවැත්වූවා.

එහෙත් එම සාකච්ඡා අසාර්ථක වීම නිසා අද හයවන දිනටත් වර්ජනය ක්‍රියාත්මක කිරීමටයි දුම්රිය වෘත්තිය සමිති කටයුතු කළේ.

මේ හේතුවෙන් අද දිනයේදීත් දුම්රිය මගීන් දැඩි පීඩාවට පත්ව සිටියා.

පසුව අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී වර්ජනයේ නිරත දුම්රිය සේවකයින්ගේ ගැටළුව විසඳීම සඳහා එම සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීමට අදාළ යෝජනාවට අනුමැතිය හිමිවී තිබෙනවා.

අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිළි කළ වැඩබලන ප්‍රවාහන අමාත්‍ය අශෝක් අබේසිංහ කියා සිටියේ වර්ජකයින් වර්ජනය අවසන් කර සේවයට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

කෙසේ වෙතත් මෙම තීරණය පිළිගත නොහැකි බැවින් තවදුරටත් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි අද පස්වරුවේ කොළඹ පැවති සාකච්ඡාවකින් අනතුරුව දුම්රිය වෘත්තිය සමිති සඳහන් කළේ.

කෙසේ වෙතත් ජාතික දුම්රිය සේවා වෘත්තිය සමිති 15 ක පමණ නියෝජිතයින් අද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා හමුවී දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරිම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූවා.

මේ අතර පසුගිය මස 20 වනදා කොළඹ - කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය කෙරුණු පරීක්ෂණ චාරිකාවක් අතරතුර දුම්රිය නියාමකයින් පිරිසක් විනය විරෝධීව හැසිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ චීනයෙන් ගෙන්වූ බලවේග කට්ටල පරීක්ෂා කිරීම සඳහා මෙම චාරිකාව සැළසුම් කර තිබූ අතර, එහිදි අදාළ නියාමකයින් බීමතින් මෙන්ම අශෝභන ලෙස හැසිරුණු බවට අදාළ පැමිණිල්ල ලැබී තිබූ බවයි.