අත්‍යවශ්‍ය සේවාවක් වූ දුම්රිය

Friday, 04 October 2019 - 7:41

%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA
දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණා.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අණ පරිදියි.

ඒ අනුව මගීන් හෝ භාණ්ඩ සඳහා වන සියළුම පොදු ප්‍රවාහන සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වන්නා වූ දුම්රිය ධාවනය, දුම්රිය හා දුම්රිය මාර්ග නඩත්තුව, සංඥා පද්ධති හා මෙහෙයුම්, ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කළ යුතු කවරාකාරයෙන් වූ සේවාවන් සඳහා ශ්‍රමය සැපයීම සිදුකළ යුතුයි.

දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කර ඇති වැඩවර්ජනයත් සමඟයි දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

වැටුප් ඉල්ලීම් මූලික කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති මේ වනවිට වැඩවර්ජනයක් ක්‍රියාත්මකයි.

මීට පෙර දුම්රිය දෙපාර්තමේන්තුව සංවෘත සේවාවක් බවට පත්කිරීමටද කැබිනට් අනුමැතිය හිමිවුණා.

එසේම, අසනීප නිවාඩු වාර්තා නොකර සේවයට වාර්තා නොකරන දුම්රිය සේවකයන් සේවය හැරගියා සේ සලකන බවටද රජය මීට පෙර දැනුම් දුන්නා.

මෙවන් පසුබිමක දැනට ධාවනය කෙරෙන දුම්රිය සඳහා පොලිස් ආරක්ෂාව යෙදවීමටද පියවර ගැනුණා.

ඒ අනුව එක් දුම්රියක් සඳහා පොලිස් නිලධාරින් දෙදෙනෙකු සහ දුම්රිය ආරක්ෂක නිලධාරින් දෙදෙනෙකු බැගින් යෙදවීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ.

වර්ජනය පැවතියත් ඊයේ දුම්රිය 19 ක් ධාවනයට කටයුතු කළ බව දුම්රිය ගමනාගමන අධිකාරි වී.එස්. පොල්වත්තගේ සඳහන් කළා.

කෙසේ වෙතත්, මේ පිළිබදව විමසීමට වර්ජනයේ නිරත වෘත්තීය සමිති සම්බන්ධ කර ගැනීමට අප උත්සාහ කළ ද එය ව්‍යර්ථ වුණේ ඔවුන් දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.