ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම 3 වන දිනටත්

Friday, 04 October 2019 - 9:58

%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+3+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස පිළිගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම සලකා බැලීම අද තුන්වන දිනටත් ආරම්භ වුණා.

ඒ, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේයි.

පෙරේදා මෙම පෙත්සම් විභාගය ආරම්භ වූ අතර, ඊයේ වගඋත්තරකාර පාර්ශවයන් වෙනුවෙන් නීතිඥයින් කරුණු දක්වනු ලැබුවා.

තුන්වන වගඋත්තරකරු ලෙස නම් කර සිටින අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන වෙනුවෙන් මෙන්ම ගෝඨාභය රාජපක්ෂ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ඊයේ දිනයේදී අදාළ කරුණු දැක්වීම් සිදුවුණා.

එම කරුණු දැක්වීම්වලින් අනතුරුව ඊයේ පස්වරු 6.15 ට පමණ විනිසුරු මඩුල්ල නියෝග කළේ පෙත්සම් විභාගය අද පෙරවරු 9.30 දක්වා කල් තැබීමටයි.

ඒ අනුව අද පෙත්සම සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සුරේන් ප්‍රනාන්දු කියා සිටියේ පෙත්සමෙහි 06 වන වගඋත්තරකරු වන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ නම ඇතුළත් කිරීම, හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ ලෙස සංශෝධනය කළ බවයි.

පෙත්සමේ 03 වන වගඋත්තරකරු වන අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධනගේ නම ඉදිරිපිටට ගරු යන වචනය යොදා තිබුණද, මෙරට දෙවරක් විධායක ජනාධිපති ධූරය දැරූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ නම ඉදිරියේ එවැනි ‘ගරු’ කිරීමක් සඳහන් නොවන බව ඊයේ දිනයේදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කරුණු දක්වමින් පෙන්වා දුන්නා.

එහිදී අධිකරණ ශාලාවේ සිටි පිරිසගෙන් ලැබුණු සිනහවට ප්‍රතිචාර දැක්වූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ කියා සිටියේ මහින්ද රාජපක්ෂට ගරු යන වචනය භාවිත නොකිරීම හාස්‍යයට කරුණක් නොවන බවයි.

මේ අතර, ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අද දිනයේදී යළිත් සිය කරුණු දැක්වීම ආරම්භ කළා.

එහිදී ඔහු කියා සිටියේ පෙත්සම්කාර පාර්ශවය 2005 වසරේ නොවැම්බර් මස 18 වැනිදා වනවිට අදාළ විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු සිට නොමැති බව පැවසුවද එදින වනවිට එම අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු සිට ඇති බවයි.

කෙසේ වෙතත්, සිය මූලික පදනම වන්නේ අදාළ පුරවැසිභාවය තහවුරු කිරීමේ ලේඛණයට අත්සන් තැබීම සඳහා ලේකම්වරයෙකු අවශ්‍ය නොවන බවයි ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එහිදී ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පෙන්වා දුන්නේ 2005 වසරේ නොවැම්බර් මස 19 වැනිදා විධායක ජනාධිපති ධූරයෙහි මහින්ද රාජපක්ෂ දිවුරුම් දීමත් සමඟ එම ලේඛණයට අත්සන් තැබීමේ බලය ඔහු සතුව පැවති බවයි.

මෙම කරුණු සලකා බැලීමේදී එවකට විධායක ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂට, ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය සහතික කිරීමේ ලියවිල්ලට අත්සන් තැබීම වංචා සහගත ක්‍රියාවක් බවට පෙත්සම්කරුවන් ප්‍රකාශ කරන්නේ කෙසේද යන්නයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයේදී ප්‍රශ්න කළේ.

එමෙන්ම, ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කියා සිටියේ මෙම පෙත්සමේ ප්‍රධාන වගඋත්තරකාර පාර්ශවයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් කළ යුතුව තිබුණත්, එසේ නම් කිරීමක් සිදුව නොමැති බවයි.

ඊට ඔහු විරෝධය පළ කළ අතර, එහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ ජනාධිපති නීතිඥවරයාගෙන් ප්‍රශ්න කළේ පෙත්සමේ 05 වන වගඋත්තරකරු වන ගෝඨාභය රාජපක්ෂ එම පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පෙත්සම ඉදිරිපත් කරන අවස්ථාවේදී පෙත්සම්කරුවන් දැන සිටියේද යන්නයි.

ඊට පිළිතුරු ලබාදෙමින් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඇප තැන්පත් කර ඇති බව පෙත්සමෙහි සඳහන් කර ඇති බවයි.

එබැවින් පෙත්සම්කරුවන් පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ එම පදනම මත සිට බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.