ජනාධිපතිවරණය කැදවීමට එරෙහි පෙත්සම, ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

Friday, 04 October 2019 - 11:33

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%2C+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ජනාධිපතිවරණයක් කැඳවීම නීත්‍යානුකූල නොවන බැවින්, ඒ සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා ඉදිරිපත් කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රතික්ෂේප කළා.

ඒ, විජිත් මලල්ගොඩ, ප්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණී අමරසේකර යන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම කැඳවූ අවස්ථාවේදීයි.

ගාල්ල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ද වන මෙත්සිරි ද සිල්වා පෙත්සමේ දක්වා තිබුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉකුත් 2015 වසරේ ජනවාරි මස 8 වනදා පැවති ජනාධිපතිවරණයේදී ජනපති වශයෙන් තේරීපත්වූයේ වසර 6 ක ධුර කාලයක් සඳහා බවයි.

එසේ තිබියදී, ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් වසර 5 ක් ගෙවුණු විගස ජනපතිවරණයක් කැඳවීමට මැතිවරණ කොමිසම ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අතර, එය නීතිවිරෝධි බැවින් ඒ සඳහා රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඔහු එමගින් ඉල්ලා තිබුණා.

කෙසේ වෙතත්, ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා, මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍ය නොමැති බව සිය සේවාදායකයා වන මෙත්සිරි ද සිල්වා දැනුම් දුන් බව කියා සිටියා.

එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම නීතිඥයාට සහ අදාළ පාර්ශවයට අවවාද කරමින් සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණය හාස්‍යයට ලක් නොකරන ලෙසයි.

මේ අතර, මෙත්සිරි සිල්වා මෙම පෙත්සම ගොනු කර ඇත්තේ ජනාධිපතිවරයාගේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු අනුදැනුමකින් තොරව බව එහි මහලේකම් - පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා.

ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා සියළු කටයුතු සූදානම් කර තිබියදී එය වැළැක්වීම හෝ කඩා කප්පල් කිරීමේ කිසිදු ක්‍රියාවක් සිදුකිරීමට ජනාධිපතිවරයාට හෝ නිදහස් පක්ෂයේ කිසිදු සාමාජිකයෙකුට අවශ්‍යතාවක් නොමැති බවයි පක්ෂ මහලේකම්වරයා සඳහන් කළේ.