වහාම සේවයට වාර්තා කරන්නැයි දුම්රිය සේවකයන්ට දැනුම්දීමක් - වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක බව වෘත්තීය සමිති කියයි

Friday, 04 October 2019 - 15:36

%E0%B7%80%E0%B7%84%E0%B7%8F%E0%B6%B8+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+-+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%B6%E0%B7%80+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණත්, දුම්රිය වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති ප්‍රකාශ කළා.

මේ අතර, දුම්රිය සාමන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු වර්ජනයේ නිරත සේවකයින්ට දැනුම් දෙන්නේ වහාම සේවයට වාර්තා කරන ලෙසයි.

අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමත් සමඟ වර්ජනය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව තීරණය කිරීම සඳහා දුම්රිය වෘත්තීය සමිති අද දහවල් රැස්වුණා.

සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක්වූ ලංකා දුම්රිය නියාමක සංගමයේ ලේකම් මනුර පීරිස් ප්‍රකාශ කළේ වර්ජනය අඛන්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවයි.

දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණු ගැසට් නිවේදනයේ කරුණු කිහිපයක් සඳහන් වනවා.

ඒ අනුව, මගීන් හෝ භාණ්ඩ සඳහා වන සියළුම පොදු ප්‍රවාහන සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වන්නා වූ දුම්රිය ධාවනය, දුම්රිය හා දුම්රිය මාර්ග නඩත්තුව, සංඥා පද්ධති හා මෙහෙයුම්, ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කළ යුතු කවරාකාරයෙන් වූ සේවාවන් සඳහා ශ්‍රමය සැපයීම සිදුකළ යුතු බවයි එමගින් අවධාරණය කර ඇත්තේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සංවෘත සේවාවක් බවට පත්කිරීමටද මීට පෙර කැබිනට් අනුමැතිය හිමි වූ අතර, අසනීප නිවාඩු වාර්තා නොකර සේවයට වාර්තා නොකරන දුම්රිය සේවකයන් සේවය හැරගියා සේ සලකන බවටද රජය මීට පෙර දැනුම් දුන්නා.

මෙවන් පසුබිමක දැනට ධාවනය කෙරෙන දුම්රිය සඳහා පොලිස් ආරක්ෂාව යෙදවීමටද  පියවර ගත්තා. පවතින තත්ත්වය හමුවේ අද පෙරවරුවේ කාර්යාල දුම්රිය 20කට ආසන්න සංඛ්‍යාවක් ධාවනය කිරීමටයි දුම්රිය බලධාරීන් පියවර ගෙන තිබුණේ.

මේ අතර, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් එල්.පී.ජයම්පති, දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු වෙත ලිපියක් යොමුකරමින් දන්වා ඇත්තේ දුම්රිය සේවය අඛන්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියලූ ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

එහි ප්‍රගතිය ජනාධිපතිවරයා වෙත වාර්තා කිරීමට හැකිවන පරිදි කඩිනමින් තමන් වෙත දැනුම් දෙන ලෙසද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

අදාළ නියෝග වහාම ක්‍රියාත්මක කිරීම දෙපාර්තමේන්තු ප්‍රධානියා ලෙස දුම්රිය සාමානාධිකාරිවරයාගේ වගකීම බවයි අමාත්‍යාංශ ලේකම්වරයා යොමුකළ ලිපියේ සඳහන් වන්නේ.   

ඒ අනුව, දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු කියා සිටියේ අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ගැසට් කර ඇති සියලූ දුම්රිය සේවකයින්ගේ නිවාඩු අවලංගු නිසා, වහාම සේවයට වාර්තා කරන ලෙස තමන් දැනුම් දෙන බවයි.

මේ අතර, වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ ආචාර්යවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය කොළඹදී අද විරෝධතා පා ගමනක නිරත වුණා.