ගෝඨාභයගේ අපේක්ෂකත්වයට එරෙහිව තවත් නඩු බැහැ - පොහොට්ටුවෙන් ප්‍රකාශයක්

Saturday, 05 October 2019 - 13:02

%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් කිසිදු නඩුවක් යළි පැවරිය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

බත්තරමුල්ල - නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මේ බව කියා සිටියා.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් කතා නොකළ පිරිස් ජනතාව රාජ්‍ය නායකයෙකු ලෙස පත් කිරීමට සැලසුම් කර තිබෙන ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන බවයි.

එමෙන්ම, ඔහුට එරෙහිව ඉදිරියේදීත් විවිධ නඩු පැවරීමේ සැලසුම් පිළිබදව දැන ගැනීමට ඇති බව ද ලක්ෂ්මන් යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා මෙම මාධ්‍ය හමුවේදී සදහන් කළා.

මේ අතර එහිදී මාධ්‍යවේදීයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ඇප මුදල් තැන්පත් කළ චමල් රාජපක්ෂ වෙනුවෙන් නාම යෝජනා ලබාදීමක් සිදුනොකරන බවයි.

කොළඹ අද පැවති තවත් මාධ්‍ය හමුවකදී කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ කියා සිටියේ තම පක්ෂය ලබන 10 වන දා පස්වරු 2ට කොළඹ ගාලුමුවදොර පිටියේදී දැවැන්ත රැළියක් පවත්වන බවයි.

මේ අතර, ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් එක්ව කොළඹ අද මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.

ඊට එක්වෙමින් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පසුගිය දා සිදුකළ ප්‍රකාශයකදී එය තම ශ්‍රී මුඛයෙන් ප්‍රකාශ කිරීම යනුවෙන් හැදින්වීම තුළින් බුදු රජානන් වහන්සේට අගෞරවයක් සිදුව ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේ හා බෞද්ධයන් සංවේගයට පත්ව ඇතැයි ද උදය ගම්මන්පිළ මන්ත්‍රීවරයා මෙම මාධ්‍ය හමුවේදී සදහන් කළා.