5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට

Sunday, 06 October 2019 - 11:54

5+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රතිඵල ලබා ගැනීමේදී නිවැරදි විභාග අංකයම ඇතුලත් කළ යුතු වන බවයි.

කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපවලට අයත් පාසල්වල ප්‍රතිඵල ලෙඛන අදාළ පාසල් ප්‍රධානීන්හට හෙට (7) දින පෙරවරු 9න් පසු විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවෙන් ලබාගත හැකියි.

අනෙක් පාසල්වල ප්‍රතිඵල ලේඛන එම පාසල්වෙත තැපැල් මගින් යොමු කිරීමට නියමිතයි.

ප්‍රතිඵල නිකුත් කිරීමේදී අපේක්ෂකයා ලබාගත් මුලු ලකුණු සංඛ්‍යාව දිස්ත්‍රික්කය හා මාධ්‍ය අනුව අදාළ කඩඉම් ලකුණු සමග සඳහන් කෙරෙනවා.

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍යයෙන් පෙනී සිටි සිසුන්ගේ අවම කඩඉම් ලකුණු සීමාව 159 ක් වන අතර, එම දිස්ත්‍රික්කවල දෙමළ මාධ්‍යයෙන් පෙනී සිටි සිසුන්ගේ අවම කඩඉම් ලකුණු සීමාව 154 ක් බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙවර ප්‍රතිඵල සකස් කිරීමේදී දිවයින් වශයෙන් හෝ දිස්ත්‍රික් වශයෙන් ස්ථාන නම් කිරීමක් සිදුකර නැහැ.

විශේෂ අවශ්‍යතා කාණ්ඩය යටතේ ශිෂ්‍යත්ව හිමිකම් ලබන අපේක්ෂකයින් මුළු ලකුණු සමග ශිෂ්‍යත්ව හිමිකම් ලැබූ බවට විශේෂ සටහනක් ඇතුලත් කරන බවයි විභාග දෙපාර්තමේන්තුව කියාසිටියේ.

කිසියම් සිසුවෙකුගේ ලකුණු පිළිබඳ නැවත පරීක්ෂාවක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නම් ලබන 21වනදාට පෙර අදාළ පාසලේ විදුහල්පතිවරුන් හරහා අභියාචනා ඉදිරිපත් කළ යුතු වනවා.

මේ පිළිබඳ වැඩිදුර උපදෙස් ප්‍රතිඵල ලේඛන සමග විදුහල්පතිවරුන් වෙත යවන ලිපියෙහි සඳහන්.

මේ අතර මෙවර ශිෂ්‍යාධාර ලබාදෙන සිසුන් සංඛ්‍යාව 15000 සිට 20000 දක්වා 5000කින් වැඩිකර තිබෙනවා.

ඒ අතරින් ශිෂ්‍යත්ව 250ක් විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා වෙන්කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පසුගිය අගෝස්තු මස 4 වනදා පැවති ශිෂ්‍යත්ව විභාගයට සිසු සිසුවියන් 339410ක් අයදුම් කර තිබු අතර විභාගයට පෙනී සිටි සංඛ්‍යාව 332179ක්.