ගම්පොළ ගුරුවරියගේ මරණය ගැන ඥාතීන්ට සැකයක්

Wednesday, 09 October 2019 - 12:38

%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A5%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
වික්ටෝරියා ජලාශයේ තිබියදී ඊයේ සොයා ගත් දින 7 ක් තිස්සේ අතුරුදන්ව සිටි හැටන් - ශ්‍රී පාද විද්‍යාලයේ ගුරුවරියගේ මරණය සැක සහිත බව ඇයගේ ඥාතීන් පවසනවා.

27 හැවිරිදි මෙම ගුරුවරියගේ මෘත ශරීරය මහවැලි ගඟේ කිලෝමීටර් 40 ක් පමණ දුර ගසා ගෙන ගොස් වික්ටෝරියා ජලාශයේ රැදී තිබියදී ඊයේ පස්වරුවේ සොයා ගත්තේ ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුවයි.

ගම්පොල - කීරපන ප්‍රදේශයේ පදිංචි චන්දිමා නිසංසලා රත්නායක නැමැති මෙම ගුරුවරිය සොයා මෙහෙයුම් ආරම්භ කෙරුණේ පසුගිය පළවනදා පාසල නිමවී නිවසට නොපැමිණීම හේතුවෙන්.

එදින ප්‍රදේශයට අධික වර්ෂාපතනයක් පැවතීම නිසා දෙමව්පියන් විසින් රාත්‍රිය වනතුරු ඇය සොයා මෙහෙයුම් සිදුකළ අතර, ඉන් අනතුරුවයි ඔවුන් මේ සම්බන්ධයෙන් ගම්පොල පොලීසියට පැමිණිලි කරනු ලැබුවේ.

ශ්‍රී පාද විද්‍යාලයේ සිට කිලෝමීටර් 60 ක් පමණ දුර ගෙවා පැමිණෙමින් සිටියදී නිවසට මීටර් 100 ක් පමණ ආසන්නයේදී ඇය මෙලෙස අතුරුදන්වී ඇති බව පොලීසිය සදහන් කළා.

ගුරුවරිය පාගමනින් නිවසට පැමිණෙන ආකාරය අසල නිවසක තිබූ සී.සී.ටී.වී කැමරාවක සටහන් වී තිබෙනවා.

කෙසේ වෙතත්, වර්ෂාවත් සමග ඇය මාර්ගය ආසන්නයේ ඇති ඇළකට වැටී ඇති බවටයි ප්‍රදේශවාසීන් සහ පොලීසිය සැක කරන්නේ.

එහෙත්, ගුරුවරියගේ ඥාතීන් සදහන් කරන්නේ ඇය ඇළට වැටී අනතුරක් සිදුවූවා නම් දේහය වික්ටෝරියා ජලාශයට වැටීමට කිසිදු හැකියාවක් නොමැති බවයි.

මේ හේතුවෙන් මෙම මරණය සැක සහිත බව ගුරුවරියගේ මව සහ ඥාතීන් ප්‍රකාශ කළා.

මෙම තරුණිය තවත් මාස කිහිපයකින් පොලීස් නිලධාරියෙකු සමග විවාහ ගිවිස ගැනීමට ද සැලසුම් කර තිබුණා.

ගම්පොල පොලීසියේ ප්‍රකාශකයෙකු සදහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද දහවල් සිදුකිරීමට නියමිත බවයි.