ගෝඨාභයට එරෙහි කෞතුකාගාර නඩුව ලබන වසරට කල් යයි

Tuesday, 15 October 2019 - 10:12

%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%9A%E0%B7%9E%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදි රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ විත්තිකරුවන් හත්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන වසරේ ජනවාරි 9 වනදා දක්වා කල් තැබීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද නියෝග කළා.

ඒ, මෙම නඩුවේ සාක්ෂි විභාගය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කර ඇති තහනම් නියෝගය හේතුවෙන්.

මෙම නඩුවේ සාක්ෂි විභාගය සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද ආරම්භ කිරීමට නියමිතව තිබුණා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කරුණු දක්වමින් මෙම නඩුවේ විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙසැම්බර් මස 10 වනදා විභාගයට ගැනීමට දින නියම කර ඇති බවත් ඒ අනුව මෙම නඩුව විභාග කිරීම වලක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කර තිබෙන තහනම් නියෝගය එදින දක්වා දීර්ඝ කර ඇති බවත් දන්වා සිටියා.

එහිදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි අධිකරණයට දන්වා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් මෙම නඩුවේ විභාගය අත්හිටුවමින් නිකුත් කර ඇති තහනම් නියෝගය දෙසැම්බර් මස 20 දක්වා දීර්ඝ කර ඇති බවයි.

එම නිසා එදිනෙන් පසුව මෙම නඩුව විභාග කිරීම සඳහා දිනයක් නියම කරන ලෙසයි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඒ අනුව අද දින නඩුවේ සාක්ෂි විභාගය අවලංගු කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නඩුව නැවත ජනවාරි මස 09 වනදා කැදවන ලෙස නියම කළා. නඩුවට පෙනී සිටීම සඳහා ගෝඨාභය රාජපක්ෂද පෙරවරුවේ අධිකරණයට පැමිණ සිටි බවයි එහි සිටි හිරු වාර්තකරු සඳහන් කළේ.

එමෙන්ම අද දින සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටි සාක්ෂිකරුවන් හතර දෙනෙකු මුදාහැරීමට නියම කෙරුණු අතර නැවත දැනුම්දීමක් ලද විට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි විනිසුරු මඩුල්ල එම සාක්ෂිකරුවන්ට දැනුම් දුන්නේ.

ඉකුත් රජය සමයේ මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම තුලින් රජයට රුපියල් මිලියන 33යි දශම 9ක පාඩුවක් කළ බවට චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන්ට මෙම නඩුව පවරා තිබුණා.