හිටපු අගමැති දි.මු. අභාවප්‍රාප්ත වෙයි

Tuesday, 19 November 2019 - 19:37

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%92.%E0%B6%B8%E0%B7%94.+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කෘතහස්ත දේශපාලනඥයෙකු මෙන්ම ශ්‍රී ලංකාවේ 14 වන අග්‍රාමාත්‍යවරයෙකු ද වූ දි.මු. ජයරත්න අද අභාවප්‍රාප්ත වුණා.

මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යන විට ඔහු 88 වන  වියේ පසුවුණා.

1931 වසරේ ජූනි 4 වනදා උපත ලද දි.මු. ජයරත්න, මිය යන තුරුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරයෙකු ලෙස කටයුතු කළා. දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක 1952 වසරේ මහනුවර දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කිරීමෙන් පසු දි.මු. ජයරත්න එහි සාමාජිකත්වය ලබා ගත් අතර,  ඔහු සිය වෘත්තිය ජීවිතය ආරම්භ කරන්නේ ගුරුවරයෙකු ලෙසයි.

1970 මහ මැතිවරණයෙන් පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත්වන ඔහු 1993 වසරේදී පිහිටුවන ලද පොදුජන එක්සත් පෙරමුණේ ආරම්භක මහලේකම්වරයා ද වනවා.

1994 වසරේ පිහිටුවනු ලැබූ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ රජයේ ඉඩම්, කෘෂිකර්ම හා වන සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස පත්වීම් ලබමින් දි.මු. ජයරත්න මුල්වරට කැබිනට් මණ්ඩලයට ඇතුළත් වුණා.

2010 වසරේ අප්‍රේල් 21 වනදා ඔහු මෙරට 14 වන අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වනවා. 2015 ජනවාරි 9 වනදා වනතුරු ඔහු එම ධුරයේ කටයුතු කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න සහ දියණියන් දෙදෙනෙකුගේ පියෙකු වන හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්නගේ නිර්මාණයකට අනුවයි ගම්පොළ - අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය සහ ආගමික මධ්‍යස්ථානය ඉදිකරනු ලැබුවේ.

අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්නගේ දේහය ගම්පොළ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇති.