නව ආණ්ඩුකාරවරු හයදෙනෙකු පත් කෙරේ

Thursday, 21 November 2019 - 9:34

%E0%B6%B1%E0%B7%80+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B6%BA%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
නව ආණ්ඩුකාරවරුන් හයදෙනෙකු ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

ඒ අනුව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරිය ලෙස දිවුරුම් දුන්නේ  විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොලයි.

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ආචාර්ය විලී ගමගේ දිවුරුම් දුන් අතර, වයඹ පළාත් ආණ්ඩුකාර ලෙස ඒ.ජේ.එම්. මුසම්මිල් දිවුරුම් දෙනු ලැබුවා. ඔහු මීට පෙර කටයුතු කරනු ලැබුවේ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙසයි.  

සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කරනු ලැබුවේ ටිකිරි කොබ්බෑකඩුවයි.

ඔහු මීට පෙර මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කර තිබෙනවා. නීතීඥ ලලිත් යූ ගමගේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙසත්, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති රාජා කොල්ලූරේ ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙසත් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

සියලූම ආණ්ඩුකාරවරුන්ට ධුරවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ඊයේ දැනුම්දීමක් කර තිබූ අතර ඒ අනුවයි අද මෙම නව පත්කිරීම් සිදුකර ඇත්තේ.

කෙසේවෙතත් නැගෙනහිර, උතුරුමැද සහ උතුර පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් මෙතෙක් පත් කර නැහැ.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ශාන් විජේලාල් ද සිල්වා කටයුතු කරන අතර, උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ සරත් ඒකනායකයි.

උතුර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස සුරේන් රාඝවන් මේ වනවිට කටයුතු කරනවා.

එමෙන්ම නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි.

ඒ, ජනාධිපති කාර්යාලයේදියි.

ඉන් අනතුරුව පස්වරු 3 ට අග්‍රාමාත්‍යවරයා සිය කාර්යාලයේදී වැඩභාරගැනීමටයි නියමිතව ඇත්තේ.

වසර 50 කට අධික කාලයක් දේශපාලන ක්‍ෂේත්‍රයේ කටයුතු කරන මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, කැබිනට් අමාත්‍යවරයෙකු, දෙවතාවකදී විපක්ෂ නායක ධුරයේ මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයේද කටයුතු කර තිබෙනවා.

එමෙන්ම මෙරට පස්වන විධායක ජනාධිපතිවරයා වශයෙන්ද ඔහු කටයුතු කළා.

මේ අතර එළඹෙන මහ මැතිවරණය තෙක් පවත්වාගෙන යනු ලබන 15 දෙනෙකුට සීමාවූ භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙනු ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළා.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් හයදෙනාට මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තුන්දෙනෙකුට කැබිනට් අමාත්‍ය ධූර හිමිවනු ඇති බවටයි එම ආරංචි මාර්ග කියා සිටියේ. සෙසු අමාත්‍ය ධුර හය සඳහා ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පත් කරනු ඇති බවටයි වාර්තාවන්නේ.