සිරිකොතට පැමිණි සජිත්ගේ පාක්ෂිකයන් හරවා යැවේ - අගමැති රනිල් අරලියගහ මන්දිරයෙන් පිටව යයි

Thursday, 21 November 2019 - 12:18

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%9C%E0%B6%AD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%BB%E0%B7%80%E0%B7%8F+%E0%B6%BA%E0%B7%90%E0%B7%80%E0%B7%9A+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%84+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග වැද ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස අද එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා, පළාත් සභා මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකවරුන් හමුවුණා.

ඒ, කොළඹ - වොක්ෂෝල් වීථියේ පිහිටා තිබූ ජනාධිපතිවරණ  මෙහෙයුම් කාර්යාලයේදියි.

ජනාධිපතිවරණයේදී  ලබාදුන් සහයෝගයට ස්තූතිය පළ කිරීම සඳහා මෙය සංවිධාන කර තිබුණා.

කෙසේ වෙතත් මෙම හමුව සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන බවටයි පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසට සහය දුන් මන්ත්‍රීවරුන් මීට පෙර ප්‍රකාශ කළේ.

එහෙත් එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකකය ඊයේ රාත්‍රියේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබූ මෙම උත්සවය අද දිනයේ නොපැවැත්වෙන බවයි.

වෙනත් දිනයක එය පවත්වන බවද එහි දක්වා තිබුණා.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු, පසුව සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් සඳහන් කළේ මෙම හමුව අවලංගු කිරීමට තීරණය කර නොමැති බවයි.

තමන් ද අද දිනයේ සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණෙන බව එමඟින් ඔහු සඳහන් කර තිබුණා.

එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර අද උදෑසන කියා සිටියේ මෙම හමුව වොක්ෂෝල් වීථියේ පිහිටි ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වීමට නියමිත බවයි.

එහෙත් පෙර කළ දැනුම්දීමට අනුව අද උදෑසන පාක්ෂිකයින් පිරිසක් සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණ සිටි අතර, ඒ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තලතා අතුකෝරල, චන්ද්‍රානි බණ්ඩාර, ආචාර්ය හර්ෂ ද සිල්වා රැඳී සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිටයි.

එහිදී පැමිණ සිටි පිරිස සහ මන්ත්‍රීවරුන් අතර සංවාදයක් ඇතිවුණා.

වොක්ෂෝල් වීථියේ පිහිටි ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේ මේ වනවිට පැවැත්වෙන හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුමබණ්ඩාර, හර්ෂණ රාජකරුණා,

හෙක්ටර් අප්පුහාමි, තුෂාර ඉඳුනිල්, ජේ.සී. අලවතුවල සහ රවීන්ද්‍ර සමරවීර පැමිණ සිටිනවා.

එම ස්ථානයට එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයින්ද රැස්ව සිටි අතර, ඔවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසට සුබපැතුම් එක් කළා.

මේ අතර ධූරයෙන් ඉවත් වීමේ ලිපිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් මේ වනවිට ජනාධිපතිවරයා වෙත යොමු කර තිබෙනවා.

ඔහු ඊයේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ ලද ජන වරමට අනුව ජනාධිපතිවරයාට නව ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ ලබාදෙමින් තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

මේ අතර අග්‍රාමාත්‍යවරයා අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය අමතමින් සිය සමුගැනීමේ දේශණයද සිදු කරනු ලැබුවා.  

පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයෙන් පිටව ගිය බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ.