ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියට පැනවූ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

Monday, 09 December 2019 - 12:11

%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8+%E0%B6%AF%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%9D+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
පැහැර ගැනීමට ලක් වූ බව කියන මෙරට පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට දේශීය වශයෙන් බදවා ගත් නිලධාරිණියක වන ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස් නැමැත්තියට අධිකරණයේ අවසරයකින් තොරව විදෙස් ගතවීම වලක්වාලමින් ලබාදුන් නියෝගය යළි දීර්ඝ කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද කරුණු වාර්තා කළ අතර ඒ අනුවයි මේ මස 12 වනදා දක්වා මෙම විදෙස් ගමන් තහනම දීර්ඝ කරනු ලැබුවේ.

අධිකරණය හමුවේ කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම කාන්තාවගෙන් සිය දෙපාර්තමේන්තුව ඊයේ පස්වරු 5යි 30 සිට අද අළුයම 2යි 30 දක්වා ප්‍රකාශයක් ලබාගත් බවයි.

එමෙන්ම තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අද දිනයේද ඇයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබූ බවත් එහිදී ඇයව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියා.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළේ මෙම කාන්තාව සිද්ධිය වූ පසුගිය 25 වනදා කිසියම් ලිංගික අපයෝජනයකට හෝ පහර කෑමකට ලක්ව ඇත්දැයි වාර්තාවක් ලබා දෙන ලෙසටයි.

එමෙන්ම ඇයගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙසටද කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කර තිබෙනවා.

මේ අතර ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ ඇයගේ නියෝජිතයෙකු බව පැවසූ මංජුල පෙරේරා නැමැත්තෙකු සඳහන් කළේ අදාළ නිලධාරිනිය අද මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරන බවයි.

බාන්ස් පෙදෙසේ ලිපිනයක් සඳහන් කළ ඔහු, එම අවස්ථාවට පැමිණෙන ලෙස එහි සිටි මාධ්‍යවේදීන්ට ආරාධනාවක්ද සිදුකළා.

ඒ අනුව මාධ්‍යවේදීන් අද උදෑසන ඔහු පැවසූ ලිපිනය සඳහන් නිවසට ගියද, එහි අදාළ තානාපති කාර්යාල නිලධාරිනිය හෝ ඇයගේ නියෝජිතවරයා සිටියේ නැහැ.

ඒ අවස්ථාවේ මාධ්‍යවේදීන් නියෝජිතවරයා ඊයේ ලබාදුන් ප්‍රකාශය ඇතුළත් වීඩියෝ පටය නිවසේ ආරක්ෂක නිලධාරියාට පෙන්වා තිබෙනවා.

එහිදී ආරක්ෂක නිලධාරියා, ඔහුව හඳුනාගෙන ඇති අතර, ප්‍රකාශ කර ඇත්තේ දින කිහිපයකින් එම පුද්ගලයා හෝ තානාපති කාර්යාල නිලධාරිනිය නිවසට නොපැමිණි බවයි.