පැය 3 ක් රහස් පොලීසියට ප්‍රකාශ දුන් රාජිත මාධ්‍ය මගහැර පිටව යයි

Tuesday, 14 January 2020 - 15:33

%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+3+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%9C%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පැය තුනකට අධික කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියා.

දින 18කට පසු නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලෙන් අද අලුයම පිටත්ව ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ අද දහවල් 12 ට පමණයි.

අව් කණ්නාඩියක් සහ හිස් වැසුමක් පැළඳ සාමාන්‍ය පරිදි රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලට ඇතුළත් වූයේ පසුගිය වසරේ දෙසැම්බර් 26 වනදායි.

ඒ සුදු වෑන් මාධ්‍ය හමුවට අදාළව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඔහුට වරෙන්තුවක් නිකුත්ව තිබියදියි.

එදින හෘද රෝග දැඩි සත්කාර ඒකකයට ඇතුළත් වූ මන්ත්‍රීවරයා පසුව සාමාන්‍ය වාට්ටුවකට මාරු කෙරුණද දින ගණනාවක්ම ඔහු එම රෝහලේ රැඳී සිටියා.

පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා රෝහලේදීම අත්අඩංගුවට ගත් අතර, පසුගිය දෙසැම්බර් 30 වනදා ඔහුට අධිකරණයෙන් ඇප හිමිවුණා.

කෙසේ වෙතත් ඉන් අනතුරුවද රෝහලේ රැඳී සිටි රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා අද අලුයම රෝහලෙන් පිටව ගියා.  

රෝහලෙන් පිටව ගිය රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුව එහි පැමිණි අතර, ඔහු පස්වරු 3.25ට පමණ ඉන් පිටව ගියා.

එහිදී මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න ඇසූ මාධ්‍යවේදියෙකුට මන්ත්‍රීවරයා සමඟ පැමිණි පුද්ගලයෙකු බාධා කළ අතර, නැගූ ප්‍රශ්නවලට මන්ත්‍රීවරයා පිළිතුරු ලබා නොදී පිටව ගිය බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.