කොරෝනා වෛරසය ඉන්දියාවටත් - ශ්‍රී ලංකාවට පැතිරීම වැළැක්වීමට ක්‍රියාමාර්ග රැසක්

Friday, 24 January 2020 - 18:59

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
කොරෝනා වෛරසය පැතිරීමේ අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.

එම ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ගුවන් මගීන්ගේ සහ ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකයන්ට එම වෛරසය ආසාදන අවදානම අවම කිරීම සඳහා පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග රැසක් මේ වනවිට ගෙන ඇති බවයි.

අදාළ වෛරසය ආසාදනයෙන් වැළකීම සඳහා ගුවන් යානා තුළ සහ ගුවන්තොටුපල තුළ ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් කාර්ය මණ්ඩලය සහ අනෙකුත් අදාළ කාර්ය මණ්ඩල ද, දැනුවත් කර තිබෙනවා.

සංචාරකයන්, කම්කරුවන්, වෘත්තීකයන් ලෙස චීන ජාතිකයන් විශාල පිරිසක් වසරකට ශ්‍රී ලංකාවට පැමිණෙන අතර, ඒ හේතුවෙන්, මෙරට සෞඛ්‍ය අංශ ද කොරෝනා වෛරසය සම්බන්ධයෙන් යොමුකර ඇත්තේ දැඩි අවධානයක්.

ඒ අනුව, කටුනායක, බණ්ඩාරනායක, ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් මෙරටට පැමිණෙන සියලුම මගීන් විශේෂ ස්කෑන් යන්ත්‍ර කිහිපයක් භාවිත කරමින් නිරීක්ෂණය කිරීම සිදුකෙරෙනවා.

කටුනායක ගුවන්තොටුපොලෙන් දිනකට ගුවන් මගීන් දහසකට අධික සංඛ්‍යාවක් දිවයිනට පැමිණෙන අතර එම සියලු මගීන් අදාළ ස්කෑන් යන්ත්‍ර මගින් පොදුවේ නිරීක්ෂණයට ලක් කරන අතර, චීනයේ සිට පැමිණෙන ගුවන් මගීන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීම සිදුකරන බවයි ගුවන්තොටුපල බලධාරින් සඳහන් කළේ.

දිනකට චීනයේ සිට මෙරටට පැමිණෙන ගුවන් යානා සංඛ්‍යාව 4 ත් 5 ත් අතර වනවා.

චීනයේ සිට සංචාරකයන් ලක්ෂ 2 කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණෙන අතර, පසුගිය දෙසැම්බර් මාසයේදී මෙරටට පැමිණි චීන සංචාරකයන් සංඛ්‍යාව 18,283ක්.

කෙසේ වෙතත්, ජනවාරි 25 උදා වන චීන අවුරුදු සමය සඳහා නිවාඩු හිමිවීමත් සමඟ ඉදිරි කාලයේදී දැඩි සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවයි අපේක්ෂා කෙරෙන්නේ.

මේ අතර, කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ චීනයේ වූහාන් නගරයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසු සිසුවියන් සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසුවන බව ද විදේශ සබඳතා අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ වූහාන් නගරයේ පමණක් මෙරට සිසු සිසුවියන් 85 ත් 100 ත් අතර ප්‍රමාණයක් අධ්‍යාපනය ලබන බවයි.

කෙසේ වෙතත්, නිවාඩු සමය එළඹීම නිසා, වූහාන් නගරයේ මේ වනවිට රැදී සිටින්නේ සිසු සිසුවියන් 25 ත් 30 ත් අතර පිරිසක් පමණක් බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටියේ.

ඔවුන් මේ වනවිට ආරක්ෂිතව පසුවන බවත්, තානාපති කාර්යාලය නිරන්තරයෙන් ඔවුන් සමඟ සම්බන්ධීකරණය වී කටයුතු කරන බවත් විදේශ සබඳතා අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

අවශ්‍යතාවක් මතුවුවහොත් ඔවුන් ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

මාරාන්තික කොරෝනා වෛරසය බවට සැක කෙරෙන රෝගීන් දෙදෙනෙකු ඉන්දියාවේ මුම්බායි නගරයෙන් වාර්තා වී තිබෙනවා.

චීනයේ - වූහාන් සිට පැමිණ ඇති මොවුන් සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස යන රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවයි එන්.ඩී.ටී.වී පුවත් සේවය වාර්තා කර ඇත්තේ.

ඒ අනුව, ඔවුන් දෙදෙනා මුම්බායි නුවර - කස්ටුබා රෝහලේ වෛද්‍ය අධීක්ෂණය යටතේ වෙන් කර තැබීමට පියවර ගෙන තිබෙනවා.

කෙරෝනා වෛරසය බිහි වූ වූහාන් නගරයේ මිලියන 11 ක ජනගහනයක් වෙසෙන අතර, එම නගරයට ඇතුළු වීම සහ පිටවීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් නගරය වසා දැමීමට ඊයේ චීන බලධාරින් පියවර ගත්තා.

එමෙන්ම, චීනයේ හුඅංගෑන් නගරය ද කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් මේ වනවිට වසා දමා තිබෙනවා.

ඒ අනුව, චීනයේ නගර 9 ක මගී ප්‍රවාහන කටයුතු අත්හිටුවා ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.