වූහාන් සිට පැමිණි 33 දෙනා නිවෙස් බලා පිටත්ව යයි

Friday, 14 February 2020 - 19:14

%E0%B7%80%E0%B7%96%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+33+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
චීනයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් 1716 කට කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එරට සෞඛ්‍ය කොමිසම ප්‍රකාශ කර තිබෙනවා.

ඉන් 6 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර, වෛරසය ආසාදිත රෝගීන්ගෙන් සියයට 90 ක්ම හුබෙයි පලාතේ වූහාන් නගරයෙන් වාර්තා වී ඇති බවයි එම කොමිසම සඳහන් කර ඇත්තේ.

වෛරසය ආසාදනය වී මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 1383 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ආසාදිතයන් සංඛ්‍යාව 64,000 ඉක්මවා ඇති බවයි නවතම වාර්තා පෙන්වා දෙන්නේ.

චීනයේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන හුබෙයි පලාතේ, වූහාන් නගරයේ මිලියන 11 ක ජනතාව සඳහා රෝහල් 398 ක් සහ ප්‍රජා සායන 6000 කට ආසන්න ප්‍රමාණයක් ස්ථාපිත කර තිබෙනවා.

එමෙන්ම, වෛරසයට ගොදුරු වී සිටින පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සඳහා සංවහන රුධිර ප්ලාස්මා චිකිත්සක ක්‍රමවේදයන් භාවිත කිරීමට චීන බලධාරින් මේ වනවිට පියවර ගෙන ඇති බව ද වාර්තා වුණා.

වෛරසයට ගොදුරු වී සුවය ලැබූ රෝගීන්ගේ රුධිර ප්ලාස්මාවන් ආසාදිතයන් තුළ ස්ථාපිත කර වෛරසයට එරෙහිව ක්‍රියාත්මක කරවීම එමගින් සිදුවනවා.

මේ අතර, නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා ගුවන් සේවාවන්හි ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5 කින් අඩුවිය හැකි බව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය ප්‍රකාශ කළා.

එසේම, චීනයේ වූහාන් නගරයේ සිරවී සිට දිවයිනට රැගෙනවිත් දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 33 දෙනා අද කොළඹ අකුරේගොඩ යුද හමුදා මූලස්ථානය වෙත රැගෙන ඒමෙන් අනතුරුව නිවෙස් බලා පිටත්ව ගොස් තිබෙනවා.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ කියා සිටියේ කොරෝනා වෛරසය මෙරටට සම්ප්‍රේෂණය වීමේ අවදානම මේ දක්වා පහව ගොස් නොමැති බවයි.