අලියා දෙයි ද ? හදවත නැතිවෙයි ද ? - එජාපයේ දෙපාර්ශවය සඳුදා යළි සාකච්ඡාවක

Friday, 14 February 2020 - 19:18

%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF+%3F+%E0%B7%84%E0%B6%AF%E0%B7%80%E0%B6%AD+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF+%3F+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B7%80%E0%B6%BA+%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් පිහිට වූ සමගි ජන බලවේගයේ ලකුණ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පාර්ලිමේන්තු සංකීර්ණයේදී සහ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අදත් සාකච්ඡා කිහිපයක් පැවැත්වුණා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් සමගි ජන බලවේගය සන්ධානය පිහිටුවා ගනු ලැබුව ද, එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය යෝජනා කර තිබුණේ සියලු දෙනා එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණින් මහ මැතිවරණයට තරඟ කිරීම සුදුසු බවයි.

කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මෙම යෝජනාවට සජිත් ප්‍රේමදාසගේ පාර්ශවයේ එකඟතාව හිමි නොවූ අතර, ඔවුන්ගේ ස්ථාවරය වූයේ අලියා ලකුණ සමගි ජන බලවේගයේ ලකුණ බවට පත් කළ යුතු බවටයි.

මෙම ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහා අවස්ථා කිහිපයකදීම රනිල් වික්‍රමසිංහගේ සහ සජිත් ප්‍රේමදාසගේ පාර්ශව අතර සාකච්ඡා පැවතියත්, එකඟතාවයකට පැමිණීමට හැකිව තිබුණේ නැහැ.

මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සහ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා.

නව සන්ධානයේ ලකුණ සහ ඉදිරි පියවර පිළිබඳව මෙම රැස්වීමේදී සාකච්ඡා වී ඇති අතර, එහිදී සියලු දෙනාගේ මතය වී ඇත්තේ අද මධ්‍යම රාත්‍රියට පෙර අලියා ලකුණ සම්බන්ධ අවසන් තීරණය ගත යුතු බවයි.

එසේ නොවන්නේ නම් සමගි ජන බලවේගය පක්ෂයෙන් හදවත ලකුණින් ඉදිරිපත් විය යුතු බවට එහිදී ඒකමතිකව තීරණය වී තිබෙනවා.

මේ අතර, විපක්ෂ නායක කාර්යාලයේ සහ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවලදීද සලකුණ සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව සම්බන්ධයෙන් අදහස් පළ වුණා.

මේ අතර, ලකුණ සම්බන්ධ අවසන් සාකච්ඡාව අද පස්වරු 2.30 ට පමණ ආරම්භ වුණේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදීයි.

ඒ සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සමඟ අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක, රවී කරුණානායක යන මන්ත්‍රීවරුන් එක්ව සිටි අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ රංජිත් මද්දුමබණ්ඩාර, මංගල සමරවීර, කබීර් හෂීම් සහ මලික් සමරවික්‍රම යන මන්ත්‍රීවරුන් එක්ව තිබුණා.

සාකච්ඡාව සාර්ථක බවයි පිටතට පැමිණි ඊට එක්ව සිටි මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ.

එමෙන්ම, ලබන සඳුඳා යළිත් මෙම දෙපාර්ශවයම හමුවී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවද වාර්තා වනවා.

කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ලකුණ සම්බන්ධයෙන් පොදු එකඟතාවකට පැමිණීම සඳහා නීතිඥ කමිටුවකට එම කටයුතු භාර දී ඇති බවයි.

මේ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී නාමයෝජනා ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව ද වාර්තා වුණා.