ඉතාලියේ 4 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි - දකුණු කොරියාවේ ආසාදිත සංඛ්‍යාව 833 දක්වා ඉහළට

Monday, 24 February 2020 - 17:22

%E0%B6%89%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+4+%E0%B7%80%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+833+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කොවිඩ් නයිටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඉතාලියේ 4 වන මරණය ද අද වාර්තා වුණා.

වෛරසය පැතිරුණු උතුරු දිග ලොම්බාඩි කලාපයේ 84 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මිය ගොස් තිබෙනවා.

ලොම්බාඩි ප්‍රදේශයෙන් වාර්තා වන 03 වන කෙරෝනා වෛරස් මරණය මෙය වන අතර, යාබද වෙනිටෝ කලාපයෙන් ද මරණයක් වාර්තා වුණා.

මෙම කලාප දෙකෙහිම නගර 11 මේ වන විට වසා දමා ඇති අතර, එහි වෙසෙන 50,000 අධික ජනතාවට ඉන් නික්මීම හෝ පිටස්තර පුද්ගලයින්ට එහි පැමිණීම තහනම් වනවා.

අග්‍රාමාත්‍ය ජුසපෙ කොන්ටි ප්‍රකාශ කළේ වෛරසය මැඬ පැවැත්වීම සඳහා එලෙස සීමාවන් පැනවීම අත්‍යවශ්‍ය වන බවයි.

ඉතාලියේ කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ද මේ වනවිට 157 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය යුරෝපයේ ඉහළම අසාදිත සංඛ්‍යාවයි.

ඉතාලියේ කොවිඩ් නයිටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමග විශේෂයනේ උතුරුදිග ප්‍රදේශවල ජනජිවිතය අඩාල වී ඇති අතර, සුප්‍රකට මිලාන් විලාසිතා දැක්ම සහ වැනිසියේ සැණකෙළිය ද අත්හිටුවා තිබෙනවා.

දේවාස්ථාන විවෘත කර ඇති නමුදු ඒවායේ දේව මෙහෙයන් අවලංගු කර ඇති බවයි ඉතාලි වාර්තා සඳහන් කළේ.

මිලාන් කොටස් වෙළඳපොළ ද අද උදෑසන සියයට 4කින් පමණ පහත වැටුණා.  

මේ වනවිට ලොව පුරා කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව 2627 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් මරණ 2592ක්ම වාර්තා වන්නේ චීනයෙන්.

ඉරානයෙන් කොරෝනා වෛරස් මරණ 12ක් වාර්තා වනවා. දකුණු කොරියාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 7 ක් වන අතර, එහි නව අසාදිතයන් 70 දෙනෙකු ඊයේ දිනය තුළ හමූ වී ඇති අතර, මේ වනවිට එහි මුළු ආසාදිත සංඛ්‍යාව 833 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එය චීනයෙන් පිටත වාර්තා වන වැඩිම කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාවයි. විශේෂයෙන් ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් වෙසෙන දකුණුදිග ඬේගු නගරයේ ආසාදිතයන් බහුතරයක් වාර්තා වන බව සඳහන්.

කෙසේ වෙතත්, විදේශ ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමේදී දකුණු කොරියානු රජය කිසිදු සීමාවක් මෙතෙක් පනවා නොමැති බවයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උපදේශක ගාමිණි සෙනරත් යාපා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයින් දකුණු කොරියාවට පිටත් කර යැවීම ප්‍රමාද කළ හැකි දැයි සොයා බලන ලෙසට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් තමන්ට වාචිකව උපදෙස් ලැබී ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ කොරෝනා වෛරසය චීනයේ ව්‍යාප්ත වීම හේතුවෙන් මෙරට ව්‍යාපෘතිවලට ඉන් බලපෑමක් ඇති වී නොමැති බවයි.