කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 70 දක්වා ඉහළට

Friday, 20 March 2020 - 17:12

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+70+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව 70 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි අද පස්වරුවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් මෙම කරුණු අනාවරණ කළා.

කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ රෝගය මැඩපැවැත්වීම සඳහා දිවයින පුරා රෝහල්වල, පොදු ස්ථානවල මෙන්ම විවිධ ප්‍රදේශවල නිවෙස්ද විෂබීජහරණය කිරීමේ කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් මගින් ආරම්භ කර තිබෙනවා.

මුන්දලම පොලිසිය විසින් පසුගිය 08 වැනිදා මෝටර් රථ අනතුරක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඇති වූ සැකය මත අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට යොමුකර තිබෙනවා.

ඒ හේතුවෙන් සැකකරු රඳවා සිටි මුන්දලම පොලිසිය හා පුත්තලම අධිකරණයේ මැදිරියක් ඊයේ විෂබීජහරණයට ලක් කෙරුණේ ප්‍රදේශයේ ප්‍රජා සෞඛ්‍ය ඒකකයේ මැදිහත්වීමෙන්.

හලාවත රෝහලේද විශේෂ නිරෝධායන ඒකකයක් අද දින විවෘත කෙරුණු අතර, එහිදී වෛද්‍යවරුන් දෙදෙනෙකු, හෙදියක සහ සාත්තු සේවිකාවක නිරෝධායන කටයුතු සඳහා එම ඒකකයට ඇතුළත් කෙරුණා.

වරකාපොල ප්‍රාදේශීය දේශපාලනඥයෙකුට කොරෝනා රෝගය වැළඳී ඇති බවට සැලවීමත් සමඟ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පද්මකුමාර් වික්‍රමසිංහ විසින් ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් ඒ පිළිබඳව දැනුවත් කර තිබෙනවා.

මේ අතර, කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ජනතාව එක්රැස්වීම තහනම් කර තිබියදී එම උපදෙස් නොතකා පාපැදි සවාරියක් සංවිධාන කළ පුද්ගලයෙකු සහ ඊට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ දඹුල්ල නගරාධිපතිවරයා පොලිසිය අත්අඩංගුවට ගත්තා.

අද ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදාහැර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

කොරෝනා වෛරසය ආසාදනය වී තිබියදී එය හෙලි නොකර රාගම රෝහලේ හෘද රෝග ඒකකයෙන් ප්‍රතිකාර ලබාගත් පුද්ගලයෙකු සම්බන්ධයෙන්ද පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එසේම, නැවත දැනුම්දෙනතුරු සියලූ තැපැල් මෙහෙයුම් කටයුතු අත්හිටවූ බව තැපැල්පති රංජිත් ආරියරත්න ප්‍රකාශ කළා.

ඒ අනුව පාර්සල් හා තැපැල් භාණ්ඩ මධ්‍යම තැපැල් හුවමාරුවේ රඳවා තැබෙන අතර, රටේ තත්ත්වය යහපත් අතට හැරුණු පසු ඒවා බෙදාහරිනු ලබන බවයි තැපැල්පතිවරයා සඳහන් කළේ.

වැඩිහිටියන් හා රෝගී තත්ත්වවලින් පෙලෙන අය කාර්යාල වෙත කැඳවීම ඔවුන්ගේ ජීවිතවලට අවදානම් තත්ත්වයක් හෙයින් වැඩිහිටි හා රෝගාධාර ගෙවීම අත්හිටුවීමට සිදුවන බවද සඳහන්.

එසේම, කොරෝනා වෛරසය මර්දනය කිරීමට ඍජුව සම්බන්ධව කටයුතු කරන රෝහල් අධ්‍යක්ෂවරුන් 24 දෙනෙකු අද කොළඹට කැඳවා තිබුණේ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චිගේ උපදෙස් මතයි.

ඔවුන් නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡාවකට එක්වූ අතර, එහිදී මෙම වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා රෝහල් සේවා පවත්වාගෙන යාම සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කර තිබෙනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories