මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 77 දක්වා ඉහළට

Saturday, 21 March 2020 - 18:29

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+77+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන්ගේ සංඛ්‍යාව මේ වනවිට 77 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලැබූ සැක සහිත රෝගීන් සිව්දෙනෙකුට එම වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි අද පස්වරුවේ තහවුරු කළා.  

සෞඛ්‍ය අමාත්‍යාංශ දත්තවලට අනුව ඊයේ දිනයේ කොවිඩ් - 19 ආසාදිත වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රිික්කයෙන් වාර්තා වුවද, අද දිනයේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් 16ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 10ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 6ක් බැගින් සමස්ත සැකසහිත රෝගීන් 245ක් වාර්තාවන බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ වාර්තා පෙන්වා දෙන්නේ.

මේ අතර කොරෝනා වෛරස ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නවීකරණය කරනු ලබන මුල්ලේරියාව රෝහලේ ඉදිකිරීම් කටයුතු සොයාබැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඇතුලූ පිරිසක් අද එම රෝහල් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවුණා.

දැනට  රෝහල ගිලන් ඇඳන් 500 කින් පමණ සමන්විත අතර, ඉන් 100ක් කොවිඩ් - 19 ආසාදිත සාමාන්‍ය රෝගීන් වෙනුවෙන් වෙන් කෙරෙනවා.

අසාධ්‍ය රෝගීන් වෙනුවෙන් දැඩි සත්කාර ඒකකයක්ද පිහිටුවීමට නියමිතයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ යුද හමුදාව විසින් මෙම රෝහලේ ඉදිකිරීම් කටයුතු සිදුකරනවා.

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් තවත් රෝහල් කිහිපයක් වෙන් කෙරෙන බව මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.  

ඒ අනුව නෙවිල් ප්‍රනාන්දු  රෝහල සහ කේ.ඩී.යූ. රෝහල ඒ සඳහා ලබාගැනීමට සූදානම් බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.

එසේම ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත අයි.ඩී.එච්. රෝහලේ කොවිඩ් 19 ප්‍රතිකාර කටයුතු පුළුල් කිරීම සඳහා ගුවන් හමුදාව විසින් තාවකාලික ගොඩනැගිලි ද්විත්වයක් ඉදිකිරීමට පියවර ගෙන තිබෙනවා.

එම ඉදිකිරීම් කටයුතු අද ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්ගේ අධීක්ෂණයට ලක්වුණා.

මෙම රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා තවත් රෝහල් කිහිපයක් වෙන් කිරීමටද රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, හෝමාගම මූලික රෝහල, කොරෝනා වෛරසය ආසාදිත බවට සැක කෙරෙන රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා වෙන් කෙරෙනු ඇති.

මේ අතර බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පෙන්වා දෙන්නේ කොවිඩ් 19 ආසාදනය වූ බවට සැක කෙරෙන රෝගීන්ගේ ජෛව සාම්පල පරීක්ෂා කිරීමේදී රෝගය ආසාදනය වූ පුද්ගලයින් වාර්තාවීම මේ වනවිට සැළකිය යුතු ලෙස අඩුවී ඇති බවයි.   

මේ අතර පසුගිය 11 වනදා ඉතාලියේ සිට පැමිණි 37 හැවිරිදි පුද්ගලයෙකු සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් මත මාරවිල පිහිටි තම නිවසේ සිට ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටියදී ඊයේ හදිසියේ කොවිඩ් - 19 රෝග ලක්ෂණ මතුවී තිබෙනවා.

ඒ අනුව මහවැව  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීම මත ඔහු මාරවිල රෝහලෙන් කුරුණෑගල රෝහල වෙත පිටත්කර යැවූ බවයි  හිරු වාර්තාකරු කියා සිටියේ.

එසේම දියතලාව ප්‍රදේශයෙන් කොවිඩ් - 19 රෝගියෙකු වාර්තාවී ඇති අතර, එම ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය මිලින්ද පෙරේරා සඳහන් කළේ පසුගිය 18 වනදා  පෙරවරුවේ අදාළ රෝගියා දියතලාව මූලික රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති බවයි.

එසේම හබරණ ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක සේවය කරමින් සිටි තරුණයෙකු කන්තලේ වාන් ඇල ප්‍රදේශයේ තම නිවසට පැමිණ සිටියදී කොවිඩ් - 19 රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් කන්තලේ රෝහලට ගොස් පරීක්ෂා කරගෙන තිබෙනවා.

එම රෝහලේ වෛද්‍ය අධිකාරී ඩී.ජී.එම්. කොස්තා ප්‍රකාශ කළේ පසුව ඔහු මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකළ බවයි.

බේරුවල - පිංහේන - මොරොස්වත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු ඔහුගේ බිරිඳ සහ දරුවා ස්වයං නිරෝධායනකට ලක් කර තිබෙනවා.

විදෙස් සංචාරකයන්ගේ මාර්ගෝපදේශකයෙකුගේ රියදුරෙකු ලෙස කටයුතු කරන මොහු පසුගිය 15 වන දා සංචාරයක් නිම කර නිවසට පැමිණීමෙන් පසු කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ඇති බවයි වාර්තා වන්නේ.  

මේ අතර, යාපනය, ෆිලඩෙල්ෆියා දෙව් මැදුරේ පසුගිය 15 වන දා පැවති දේව මෙහෙයට සහභාගි වූ පිරිසට වහාම සෞඛ්‍ය බලධාරීන් අමතන ලෙස බලධාරීන් දැනුම් දෙනවා.

උතුර පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ එම දේව මෙහෙය පැවැත්වූ ස්විට්සර්ලන්ත දේවගැතිවරයාට, කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක මතුවීම ඊට හේතුව බවයි.

එසේම උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඒ.කේතීශ්වරන් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ එම දේව මෙහෙයට සහභාගි වූ දෙදෙනෙකු වෛරසය ආසාදනය වූ බවට සැකකර රෝහල් ගත කර ඇති බවයි.

එමෙන්ම, ඊට සහභාගි වූ අනෙකුත් බැතිමතුන්ට   021 22 17 278 යන දුරකථන අංකයට අමතන ලෙස ද ඔහු ඉල්ලීමක් කළා.

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා නාවික හමුදාව බොරැල්ල ද සොයිසා කාන්තා රෝහලේ අද විෂබීජහරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories