සහල්, පොල්, එළවළු, බිත්තර, කුකුළු මස් හිඟයකින් තොරව

Thursday, 26 March 2020 - 7:10

%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B6%91%E0%B7%85%E0%B7%80%E0%B7%85%E0%B7%94%2C+%E0%B6%B6%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%2C+%E0%B6%9A%E0%B7%94%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B8%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B7%80
කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කර ඇති බව ඊට  අදාළව පිහිටවූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළා.

සමුපකාර සහ සුපිරි වෙළඳසැල්  ඒකාබද්ධව සිදුකරන මෙම යාන්ත්‍රණය කොරෝනා මර්දනයට සෞඛ්‍ය ක්‍ෂේත්‍රය ගෙන යන වැඩපිළිවෙලට යටත්විය යුතු වනවා.

ජන ජීවිතය බිඳ නොවැටෙන ආකාරයෙන් අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යා යුතු වන අතර, මීට අදාල සාකච්ඡාවක් ඊයේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

සියලූ දිස්ත්‍රික් ලේකම්වරුන්, බැංකු ප්‍රධානීන්, අත්‍යාවශ්‍ය ආහාර සම්පාදනයට සම්බන්ධ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ප්‍රධානීන් එක්ව සිටි මෙම සාකච්ඡාවේදී තීරණ රැසකට එළඹ තිබෙනවා.

එහිදී අනාවරණ වුණේ සහල්, පොල්, එළවළු, බිත්තර, කුකුළු මස් හිඟයකින් තොරව සැපයීමේ හැකියාවක් පවතින බවයි.

රජයේ රෝහල්වල ලියාපදිංචිව අඛණ්ඩව ඖෂධ මිලදී ගන්නා රෝගීන්ට එම බෙහෙත් වට්ටෝරු නිවසටම සැපයීමට මෙහිදී තීරණය කර තිබෙනවා.

ප්‍රාදේශීය ලේකම්වරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙන්ම ආරක්ෂක අංශද ඒ සඳහා දායක කරගැනෙනු ඇති.

ඉදිරියේදී තෝරාගත් පෞද්ගලික ෆාමසිවලින් ඖෂධ මිලදීගැනීමේ ක්‍රමවේදයක්ද අනුගමනය කිරීමට මෙහිදී අවධානය යොමු වුණා.

වෙළඳ සහ අත්‍යාවශ්‍ය කටයුතුවලට දායක වන අයුරින් වානිජ බැංකු විවෘතව තබන ලෙසයි ඒවායේ ප්‍රධානීන්ට මෙහිදී දැනුම් දුන්නේ.

දුරකථන ඇණවුම් මගින් ගෑස් බෙදාහැරීමේ වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස එහිදි අදාළ ආයතනවලට දැනුම් දුන්නා.

ස්ථාවර නිෂ්පාදන ආර්ථිකයක් රට තුළ ගොඩනැගීම පිළිබඳවද සාකච්ඡාවේදි අවධානය යොමුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ.