මෙරට කොරෝනා ආසාදිතයන් 5ක් දැඩි සත්කාර ඒකකයේ

Sunday, 29 March 2020 - 12:37

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+5%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%92%E0%B6%9A%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කෙරුණු රෝගීන්ගෙන් පස් දෙනෙකු මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයින් 115 දෙනෙකු වාර්තා වන අතර, ඊයේ දිනයේදී ද කොරෝනා ආසාදිතයින් 9 දෙනෙකු අලුතින් හඳුනාගනු ලැබුවා.

එමෙන්ම සුවය ලැබීමෙන් අනතුරුව අයි.ඩී.එච්. රෝහලෙන් රෝගීන් 9 දෙනෙකු පිටව ගොස් තිබෙනවා. ඒ අනුව දැනට එහි ප්‍රතිකාර ලබන කොවිඞ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 96 ක්.

මේ අතර, කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරටදී මියගිය පළමු ශ්‍රී ලාංකිකයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතයි.

ඔහුගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව ආදාහනය කොටිකාවත්ත - මුල්ලේරියාව ආදාහනාගාරයේදී සිදුකිරීමටයි නියමිතව ඇත්තේ.

වෛරසය ආසාදනය වී ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ මෙම පුද්ගලයා 60 හැවිරිදි මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සංචාරක මග පෙන්වන්නෙකු වන මෙම පුද්ගලයා වසර කිහිපයකට පෙර වකුගඩු බද්ධ කිරීමකට ලක්ව ඇති අතර දියවැඩියාව හා අධික රුධිර පීඩනයෙන් පෙළුණු අයෙකුද වනවා.

එමෙන්ම, බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පදිංචිව සිටි වයස අවුරුදු 60 ක පමණ ශ්‍රී ලාංකිකයෙකු සහ තවත් ශ්‍රී ලාංකික විශ්‍රාමික වෛද්‍යවරයෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ ජීවිතක්ෂයට පත්වුණා.

මේ අතර, පසුගියදා ශ්‍රී ලංකාවේ නිවාඩුවක් සඳහා පැමිණ අනතුරුව කොරෝනා වෛරසය පැතිරයාමත් සමඟ නැවත සිය රට බලා පිටත්ව ගිය බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන ග්‍රැහැම් ඇබට් බී.බී.සී. පුවත් සේවය සමඟ සිය අත්දැකීම් හුවමාරු කරගෙන තිබුණා.

එහිදී ඔහු ප්‍රකාශ කළේ කොරෝනා වෛරසය මැඩලීම සඳහා ශ්‍රී ලංකාවේ පවතින ක්‍රමවේදය, බ්‍රිතාන්‍යයට වඩා ඉදිරියෙන් පවතින බවයි.

මේ අතර විදේශයන් හි සිට දිවයිනට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර නිරෝධායන කාලසීමාව අවසන් කළ 06 වන කණ්ඩායම අද නිවෙස් වෙත පිටත් කර හරිනු ලැබුවා.

ඒ අනුව වැලිකන්ද - ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයේ සහ මඩකලපුව - පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි නිරෝධායන කාලසීමාව අවසන් කළ පිරිසක් මෙලෙස නිවෙස් වෙත පිටත් කර යැවූ බවයි යුද හමුදාව සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories