දිවයින පුරා ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ, දුම්රිය 31ක් කොළඹට - පෞද්ගලික බස් ධාවනය සියයට 20යි (වීඩියෝ)

Tuesday, 26 May 2020 - 12:58

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F%2C+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+31%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7+-+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+20%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කොළඹ සහ ගම්පහ ඇතුළු දිවයින පුරා පනවා තිබූ ඇඳිරි නීතිය අද අලුයම 5ට ඉවත් කිරීමත් සමඟ මේ වන විට ජන ජීවිතය යථා තත්ත්වයට පත්වෙමින් පවතිනවා.

කෙසේ වෙතත්, ඇතැම් නගරවලට ජනතාව පැමිණීමේ අඩුවක් ද දක්නට ලැබුණු බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර, ඇතැම් ප්‍රදේශවල පොදු ප්‍රවාහන කටයුතු ද ප්‍රමාණවත් පරිදි සිදුනොවූ බවට වාර්තා වනවා.

කෙසේ වෙතත්, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අද දිනයේදී වැඩ කටයුතු ආරම්භ වුණා.

ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල හිරු වාර්තාකරුවන් සඳහන් කළේ අද උදෑසන සිටම සේවා කටයුතු සඳහා පිටත්ව යාමට පැමිණි ජනතාව බස් නැවතුම්පොළවල්වල රැදී සිටි බවයි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ද අද සිට එදිනෙදා කටයුතු සඳහා විවෘත කෙරුණේ දින 66කට ආසන්න කාලයකට පසුවයි.

අද සිට කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල ගමනාගමනයට ද අවසර හිමි වන අතර, ඒ අනුව අන්තර් පළාත් බස් සේවාවන් ද ආරම්භ කෙරුණා.

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා බස් රථ කොට්ටාවට පමණක් ධාවන කිරීමට කටයුතු කර තිබූ අතර, එම බස් රථවල ගමන් කළ හැක්කේ රජයේ සහ පෞද්ගලික අංශවල රැකියා සඳහා පැමිණෙන්නන්ට පමණක් බවයි මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේ.

අද උදෑසන 6ට ආරම්භ වූ අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය අවසන් වන්නේ පස්වරු හයටයි.

මේ අතර, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල අද දිනයේ බස් රථ සුළු ප්‍රමාණයක් ධාවනය කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් ද කියා සිටියේ අද දින සියයට 20ක පමණ අවම ප්‍රතිශතයකින් දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනය කරන බවයි.

කෙසේ නමුත්, බස් රථවල ආසන ගණනට මගීන් ප්‍රවාහනය කිරීම ඉදිරියේදී නීතියක් බවට පත් කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

එමෙන්ම, දුම්රිය සඳහා අමතර මැදිරි එක් කර ඇති බැවින් දුම්රිය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවූව ද රාජකාරී හැඳුනුම්පත පෙන්වා අද සිට ජනතාවට ගමන් කිරීමට හැකියාව පවතින බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

ඒ අනුව දුම්රිය ස්ථාන රැසකට අද උදෑසන සිට විශාල මගීන් පිරිසක් පැමිණ සිටි බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

බෙලිඅත්ත දුම්රිය ස්ථානයට සහ පොල්ගහවෙල දුම්රිය ස්ථානයට විශාල මගීන් පිරිසක් පැමිණ සිටීම හේතුවෙන් එම ස්ථානයේ තදබදයක් ද හටගෙන තිබුණා.

එසේම අද දිනයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට කොළඹට දුම්රිය 31ක් ධාවනය සඳහා යොදවා ඇති බව දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories