සාමාන්‍ය මගීන්ට හෙට සිට දුම්රිය දෙකක් (වීඩියෝ)

Wednesday, 27 May 2020 - 11:19

%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
හෙට සිට සාමාන්‍ය මගීන් සඳහා දුම්රිය දෙකක් ධාවනයට එක් කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

මහනුවර සිට බදුල්ල දක්වා ගමන් කිරීමට මෙම දුම්රිය යොදවන බවයි ඔහු කියා සිටියේ.

රාජකාරී කටයුතු සඳහා කොළඹට පැමිණෙන මගීන්ගේ පහසුව වෙනුවෙන් කාර්යාල දුම්රිය 29ක් සහ නගරාන්තර දුම්රිය දෙකක් අද ධාවනයට යොමු කර තිබුණා.

මේ අතර, කොරෝනා වසංගතය පැතිර යාමත් සමඟ ඇණහිට තිබූ උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය අද ආරම්භ වුණා.

පෙරවරුවේ බදුල්ල දුම්රිය ස්ථානයෙන් මහනුවර බලා මෙලෙස පිටත් වූයේ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.

අද, ඊයේ දිනයට සාපේක්ෂව වැඩි මගීන් පිරිසක් දුම්රියේ සහ බස් රථවලින් කොළඹ නගරයට පැමිණි බවට වාර්තා වනවා.

දුම්රියේ ගමන් කිරීමට පැමිණි මගීන් පිරිසක් හේතුවෙන් අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේ ඊයේ ඇති වූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

රටේ පවතින තත්ත්වය මත ජනතාවට බාධාවකින් තොරව දුම්රියේ ගමන් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබියදී ඇතැම් පිරිස් මෙලෙස කලහකාරී ලෙස හැසිරීම කණගාටුදායක බවත් ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කර තමන්ට ලබාදෙන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත්තේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසියම් පසුබිම් සිද්ධියක් තිබිය හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

කිසිදු රාජ්‍ය සේවකයෙකු වාර ප්‍රවේශ පත්‍රයක් තමන් වෙත නොමැති නම් ප්‍රවේශපත්‍රයක් මිලදී නොගෙන හොරෙන් හෝ බලහත්කාරයෙන් ගමන් කිරීමට උත්සාහ දරනවා යැයි කීම තමන් කිසිසේත් පිළිනොගන්නා බවයි අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ.

ලංකා ගමනාගමන මණ්ඩලය පිටකොටුව ප්‍රධාන බස් නැවතුම්පොළ වෙත අදත් වැඩි බස් රථ සංඛ්‍යාවක් යොදවා තිබූ නමුත්, එහි එතරම් කාර්ය බහුල ස්වභාවයක් දක්නට ලැබුණේ නැහැ.

එමෙන්ම, තාවකාලිකව වසා දැමුණු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෙට සිට යළි විවෘත කිරීමට නියමිතයි.

එම තානාපති කාර්යාලය නිවේදනය කළේ එරට සෞඛ්‍ය අධිකාරිය විසින් නියම කර ඇති පූර්ව සෞඛ්‍ය ආරක්ෂක මාර්ගෝපදේශ සහ තානාපති කාර්යාලයේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරමිනුයි සේවා කටයුතු සිදුකරන බවයි.

කොරෝනා ආසාදිත සේවකයින් 5 දෙනෙකු සොයා ගැනීමෙන් පසුව අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසා දැමුණේ පසුගිය 21 වන දායි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories