ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහකොමසාරිස් ජනපති හමුවෙයි

Friday, 29 May 2020 - 19:43

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අද (29) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වුණා.

ඒ ජනාධිපති කාර්යාලයේ දීයි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල ඓතිහාසික කඩඉමක් සනිටුහන් කරමින් මැයි 14 වනදායි වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඔහු සිය අක්තපත්‍රය ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවේ.

අද පැවති සාකච්ඡාවේදී සහයෝගීතාවේ නව ක්ෂේත්‍ර විමර්ශනය කරමින් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා වන දෙරටේ කැපවීම ජනාධිපතිවරයා ඉන්දියානු නව මහකොමසාරිස්වරයා වෙත නැවත තහවුරු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

පසුගිය සෙනසුරාදා (23) ඉන්දීය අගමැතිවරයා සමග දුරකථනයෙන් කළ සුහද සාකච්ඡාව සිහිපත් කරමින් වත්මන් දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාවට දුන් නොමසුරු සහය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉන්දීය රජයට සහ ජනතාවට සිය ස්තූතිය පළ කර තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සුබපැතුම් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ මහකොමසාරිස්වරයා කොවිඩ් 19 වසංගතයට එරෙහි සාර්ථක සටනට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ලබා දෙන නායකත්වය අගය කර තිබෙනවා.

දෙරටේ සුබසිද්ධිය වෙනුවෙන් දැනටමත් එකඟ වී ඇති හවුල් ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම කඩිනම් කිරීමේ අවශ්‍යතාව පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක්වී තිබෙනවා.

එමෙන්ම තමන් තෝරාගන්නා ක්ෂේත්‍රවල අධ්‍යාපනය ලැබීම සඳහා ශ්‍රී ලාංකික ශිෂ්‍යත්වලාභීන්ට තවත් අවස්ථා සලසා දීමට ඉන්දියාව සූදානම් බවයි මහකොමසාරිස්වරයා සඳහන් කර ඇත්තේ.

ආර්ථික සහ වෙළෙඳ සහයෝගීතාවට අමතරව දෙරටේ ජනතාව අතර සබඳතා වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් උද්ගතව ඇති අභියෝග ජය ගැනීමට කලාපයේ රටවල් අතර අන්‍යොන්‍ය වශයෙන් ඵලදායී සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කළයුතු බවට ද ජනාධිපතිවරයා සහ ඉන්දියානු මහකොමසාරිස්වරයා එකඟ වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.