පාස්කු ඉරිදා ප්‍රහාරයේදී පල්ලි - හෝටල් ඉලක්ක වූයේ ඇයි ? - ජනපති කොමිසමේදී හෙළිවෙයි (වීඩියෝ)

Saturday, 30 May 2020 - 20:53

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%89%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92+-+%E0%B7%84%E0%B7%9D%E0%B6%A7%E0%B6%BD%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B7%80%E0%B7%96%E0%B6%BA%E0%B7%9A+%E0%B6%87%E0%B6%BA%E0%B7%92+%3F+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
පාස්කු ඉරිදා ශ්‍රී ලංකාව ISIS ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයක් බවට පත්වුණේ ඇයි ?

පාස්කු ප්‍රහාරය විමසන ජනාධිපති කොමිසමේදී ඒ ප්‍රශ්නයට පිළිතුරු ලැබුණා.

ඒ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කොමිසම හමුවේ සාක්ෂි දුන් අවස්ථාවේදී.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ කොළඹ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඊයේ සාක්ෂි දුන් අතර සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්තවාදීන් බෝම්බ ප්‍රහාරයට පෙර පටිගත කර තිබූ වීඩියෝව සම්බන්ධයෙන් කරුණු රැසක් එහිදී අනාවරණ වුණා.

අදාළ වීඩියෝව සම්බන්ධයෙන් කොමිසම පළමුවෙන් විමසුවේ අක්කරෙයිපත්තු පොලිස් ස්ථානය හරහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ගේ උපකරණ කිසිවක් ලැබුණේ ද යන්නයි.

ප්‍රහාරකයන්ට අයත් DVD, CD, PEN DRIVE කිහිපයක් සහ MEMORY CHIP එකක් ලැබුණු බව සාක්ෂිකරු පිළිතුරු දෙමින් සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ එම MEMORY CHIP එක තුළ වීඩියෝ 17ක් තිබූ නමුත් එම වීඩියෝ ප්‍රමාණයට වඩා වැඩි ධාරිතාවක් භාවිත කර ඇති බව පෙන්නුම් කළ නිසා එය වැඩි දුර විමර්ශනයට යොමුකළ බවයි.

එහිදී එම MEMORY CHIP එක තුළ සඟවා තිබූ තවත් වීඩියෝවක් අනාවරණ කර ගැනීමට හැකිවී ඇති අතර එහි සඳහන්ව ඇත්තේ සහරාන් හෂීම් ඇතුළු පිරිස පාස්කු ප්‍රහාරයට පෙර දිව්රුම් දෙන ආකාරයයි.

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ සහ ඉන් පසු දිනවලදීත් මෙම වීඩියෝව මහත් ආන්දෝලනයක් ඇති කළා.

එහි දක්නට ලැබුණේ විනාඩි කිහිපයක ඉතා කුඩා වීඩියෝවක් වුවත් මෙහි සම්පූර්ණ වීඩියෝව ජනාධිපති කොමිසම හමුවේ ප්‍රදර්ශනය කිරීමේදී හෙළිවුණේ එය පැය 2යි විනාඩි 15ක දිගින් යුතු වීඩියෝ පටයක් බවටයි.

මෙම වීඩියෝව හරහා පාස්කු ප්‍රහාරය පිළිබඳ මෙතෙක් අනාවරණ නොවූ කරුණු රැසක් අවනාවරණ වුණා.

අදාළ වීඩියෝව ත්‍රස්තවාදීන් විසින් පටිගත කර ඇත්තේ පාස්කු ප්‍රහාරයට පෙර දින එනම් 2019 අප්‍රේල් මස 20 වැනිදා පස්වරු 1.17 සිට පස්වරු 3.32 දක්වා කාලය තුළදී බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරියා කොමිසම හමුවේ සඳහන් කළා.

ජනාධිපති කොමිසම මෙහිදී ප්‍රශ්න කළේ, මෙම වීඩියෝව හරහා අනාවරණ කරගත්තේ කුමන කරුණුද යන්නයි.

වීඩියෝව පිළිබඳ සිදුකළ විමර්ශනයේදී එහි සිටින පුද්ගලයින් කවුරුන්ද යන්න අනාවරණ කරගත් බවත්, මෙම ප්‍රහාරවලින් ඔවුන් සියලුදෙනා මියගිය බවට තොරතුරු ඇති බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ පැවසුවා.

නමුත් ඔවුන් 8 දෙනා අතරින් පුද්ගලයින් වශයෙන් නිශ්චිතව හඳුනාගෙන ඇත්තේ තිදෙනෙකු පමණයි.

ඒ අනුව වීඩියෝවේ සිටින ප්‍රධාන පුද්ගලයා සහරාන් හෂීම් ලෙසත්, ඔහුගේ වම් පස කණ්නාඩි යුවලක් පැළඳ සිටින්නා කටුවාපිටියේ බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහම්මදු හස්තූන් ලෙසත්, වීඩියෝවේ සිටින කෙට්ටුම පුද්ගලයා දෙහිවල ට්‍රොපිකල් ඉන් බෝම්බකරු වන ජමීල් මොහොමඩ් ලෙසත් හඳුනාගෙන තිබෙනවා.

සාක්ෂිකරු සඳහන් කළේ, දෙමටගොඩදී බෝම්බය පුපුරුවාගත් කාන්තාවද අදාළ වීඩියෝවේ සිටින බවට ප්‍රහාරය සිදුවූ දිනවලදී කතාබහක් ඇතිවුවත් වීඩියෝවේ සිටින සියලු දෙනා පිරිමි පුද්ගලයින් බවට තහවුරු වී ඇති බවයි.

සහරාන්ගේ දේශනය හරහා කුමන කරුණු අනාවරණ කරගත්තේදැයි කොමිසම අනතුරුව ප්‍රශ්න කළා.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරියා පෙන්වාදුන්නේ සහරාන් හෂීම් අන්තවාදී මත දැරීමට සහ මෙරට ඉහල පෙළේ සංචාරක හෝටල් සහ කතෝලික දේවස්ථාන ඉලක්ක කිරීමට හේතු වූ ප්‍රධාන කරුණු 4ක් අදාළ දේශනයේ අන්තර්ගත බවයි.

01 - අල්ලා දෙවියන් වහන්සේ විසින් අනුමත කර ඇති ක්‍රියාවන් හෙවත් හලාල් වලට ආදරය කිරීම සහ තහනම් කර ඇති ක්‍රියාවන් හෙවත් හරාම් ප්‍රතික්ෂේප කිරීම,

02 - අල්ලා දෙවියන් විසින් මුස්ලිම් ජනතාවට ලබාදී ඇති දේශයට අබු බකර් අල් බග්දාදි විසින් ඉස්ලාම් රාජ්‍යයක් බිහිකර තිබියදී එහි කුඩා නගරයක් වන බාගුස් වෙත රටවල් 80ක් එකතු වී බෝම්බ ප්‍රහාර එල්ලකර මුස්ලිම් ජනතාව මරා දැමීමට පළිගැනීම,

03 - නවසීලන්තයේ මුස්ලිම් පල්ලියක ආගම අදහමින් සිටි මුස්ලිම් ජනතාව ක්‍රිස්තියානි පුද්ගලයෙකු විසින් ඝාතනය කිරීම,

04 - සිරියාවේ සහ ඉරාකයේ මුස්ලිම් විරුද්ධවාදීන් හෙවත් කාෆීර්වරුන් ශ්‍රී ලංකාවට පැමිණ සංචාරය කිරීම එම ප්‍රධාන කරුණු 4 ලෙස සහරාන් සිය දේශනයෙන් පෙන්වා දී තිබෙනවා.

මෙම ප්‍රධාන කරුණු 4 තුළ අන්තර්ගත වූ 3 වන කරුණ එනම් නවසීලන්තයේ මුස්ලිම් ජනතාව ක්‍රිස්තියානි පුද්ගලයෙකු විසින් මරා දැමීම මෙරට කතෝලික දේවස්ථානවලට පහර දීමට හේතුවූ බව සහරාන් සිය දේශනයේ සඳහන් කර තිබෙනවා.

ඒ සමඟම මෙරට ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් ඔවුන්ගේ ඉලක්කයක් බවට පත්ව තිබෙන්නේ සිරියාවේ සහ ඉරාකයේ මුස්ලිම් ජනතාවගේ විරුද්ධවාදීන් ශ්‍රී ලංකාවට පැමිණ සංචාරක හොටල්වල ලැගුම්ගැනීමයි.

මීට අමතරව මේ සඳහා ශ්‍රී ලංකාව තොරා ගැනීමට හේතු වූ තවත් කරුණු 10ක් සහරාන් සිය දේශනයේ සඳහන් කර තිබෙනවා.

මෙම වීඩියෝව අධ්‍යයනය කිරීමේදී ඉහත සඳහන් කළ කරුණුවලට අමතරව තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සහරාන්ගේ දේශනයේ අනත්ර්ගත බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරියා කොමිසම හමුවේ සඳහන් කළා.

01. අල්ලා දෙවියන් වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කිරීම ගෞරවයක් මෙන්ම පාරාදීසය වෙත සෘජුව ගමන් කිරීමේ ක්‍රමයක් වන බව ප්‍රහාරය සිදුකිරීමේදී විනාශවන මස්ල ඇට කැබලි සහ හිස් කබල් මතින් ඉස්ලාම් රාජ්‍යයක් සඳහා බීජයක් රොපණය වීම,

02. මෙම ප්‍රහාරය ඉදිරියේදී ඉන්දියාව ජයග්‍රහණය කිරීම සඳහා පාදක කර ගැනීම,

03. විරුද්ධවාදීන් සමඟ කිසිදු අවස්ථාවක සාකච්ඡා නොකරන අතර තැන් තැන්වන බෝම්බ පිපිරවීම ආරම්භයක් පමණක් වීම,

04. නුඹලාට අපේ අනුකම්පාව අවශ්‍යනම් ඉස්ලාම් ආගමට පැමිණීම හෝ බදු ගෙවීම සිදුකළ යුතුය.

යන කරුණු ඇතුළු තවත් කරුණු කිහිපයක් ඊට ඇතුළත්.

මීට අමතරව අදාළ වීඩියෝවේ සහරාන් ගිනිඅවියක් අතැතිවත් තවත් කිහිප දෙනෙකු පිහි රැගෙන සිටීමත් සහ පිටුපසින් දැක්වෙන ධජය IS මතවාදයට සමාන බව ඔප්පුකිරීමට ගෙන ඇති උත්සාහයක් බවට පෙනී යන බව ද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.

මෙම වීඩියෝව අක්කරෙයිපත්තු පොලිස් ස්ථානයට ලැබුණේ කෙසේදැයි කොමිසම විමසුවා.

සාක්ෂිකරු සඳහන් කළේල මඩකළපුව සියොන් දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් අසාම් නමැති පුද්ගලයා මෙම වීඩියෝව අන්තර්ගත උපකරණ මඩකලපුවට රැගෙන ගොස් ඇති බවට අනාවරණ වී ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories