දේවගැතිවරුන් දෙදෙනෙකු පාස්කු ප්‍රහාරය පිළිබද කොමිසමට (වීඩියෝ)

Sunday, 31 May 2020 - 19:26

%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B6%9C%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%AF+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
පාස්කු ඉරු දින ප්‍රහාර එල්ල වූ මඩකලපුව සියොන් දේවස්ථානය සම්බන්ධයෙන් සාක්ෂි විමසීම පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සිදුකෙරුණා. සාක්ෂි ලබාදීම සඳහා පැමිණ සිටියේ පිපිරීම සිදුවන අවස්ථාවේ දේවස්ථානයේ සිටි දේවගැතිතුමන්ලා දෙදෙනෙකුයි.

කොමිසම හමුවේ ප්‍රථමයෙන් සාක්ෂි ලබාදුන්නේ මඩකලපුව සියෝන් දේවස්ථානයේ දෙවන දේවගැතිවරයා වන ගනේෂමූර්ති තිරුකුමාර්.

එහිදී කොමිසම දේවගැතිවරයාගෙන් විමසා සිටියේ පසුගිය වසරේ අප්‍රේල් 21 වන දා දේවස්ථාන කාර්යාලයේ සිටියදී යම් නාඳුනන පුද්ගලයෙකු දේවස්ථානයට පැමිණියේ ද යන්නයි.

ඊට පිළිතුරු ලබාදුන් දේවගැතිවරයා කියා සිටියේ යම් පුද්ගලයෙකු පැමිණි අතර, තමන් ඔහුගෙන් තොරතුරු විමසද්දී ඔහුගේ නම උමර් ලෙස හඳුන්වා දුන් බවයි.

උමර් නමැත්තා දේවස්ථානයට පැමිණි කාරණාව විමසා සිටියේ දැයි කොමිසම මෙහිදී ප්‍රශ්න කළා.

මවට අසනීප නිසා ඇයට දේව යාඥාවක් සිදුකිරීමට අවශ්‍ය බවත්, එය බලාගෙන යාම සඳහා පැමිණි බවත්, උමර් පැවසූ බව දේවගැතිවරයා පිළිතුරු දෙමින් කියා සිටියා.

පසුව කොමිසම විමසා සිටියේ එම සංවාදය කුමන භාෂාවෙන් සිදුවූයේද යන්නයි. මුස්ලිම් ජාතිකයන් කතා බහ කරන දෙමළ භාෂාවෙන් කතා කළ ඔහුගේ නම උමර් ලෙස සඳහන් කළ බැවින් අදාළ පුද්ගලයා මුස්ලිම් ජාතිකයෙකු ලෙස හඳුනාගත් බව දේවගැතිවරයා ප්‍රකාශ කළා.

අනතුරුව තමන් බිරිඳ සහ දියණිය සමඟ සියෝන් දේවස්ථානයේ ශාඛාවක් වන කරවට්ටි දේවස්ථානය වෙත පිටව යාමට අවශ්‍ය බැවින් සියෝන් දේවස්ථානයේ සහෝදර දේවගැතිවරයා වන නාගයියා ස්ටැන්ලිට, උමර් පිලිබඳ තොරතුරු ලබාගන්නා ලෙස දැනුම් දී තමන් එම ස්ථානයෙන් පිටවී ගිය බව දේවගැතිවරයා සඳහන් කළා.

එහිදී කොමිසම ඡායාරූපයක් පෙන්වා දේවගැතිවරයාගෙන් විමසා සිටියේ ඡායාරූපයේ සිටින පුද්ගලයා හඳුනාගැනීමට හැකිද යන්නයි.

තම ජීවිත කාලය තුළ එය අමතක නොවන බව පැවසූ දේවගැතිවරයා එම ඡායාරූපයේ සිටින්නේ උමර් බව හඳුනාගත්තා.

පසුව කොමිසම විමසා සිටියේ දේවස්ථානයෙන් පිටව ගිය පසු තමන්ට දුරකථන ඇමතුමක් ලැබුණේද යන්නයි.

දේවස්ථානයේ රැදී සිටි ඥාති පුත්‍රයෙකුගෙන් තමන්ට ඇමතුමක් ලැබුණ බවත් පල්ලියේ කලබලයක් යැයි ඔහු සඳහන් කළ බවත් දේවගැතිවරයා සඳහන් කළා.

ඉන්පසු තමන් ඉක්මනින් සියෝන් දේවස්ථානයට පැමිණි බවත් ඒ වන විට එහි විශාල ගින්නක් හටගෙන මිනිසුන් මරණයට පත්ව සිටි නිසා තමන් දැඩි බියට පත් වූ බවත් දේවගැතිවරයා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කියා සිටියා.

තමා දේවස්ථානයෙන් පිටව යාමට පෙර නාගයියා ස්ටැන්ලි සහෝදර දේවගැතිවරයාට හඳුන්වා දුන් උමර් විසින් මෙම ප්‍රහාරය සිදුකළ බව සහෝදර දේවගැතිවරයා හඩමින් සඳහන් කළ බව සාක්ෂිකරු පැවසුවා.

ප්‍රහාරයෙන් තමන්ගේ පුතු මියගොස් ඇති බව දැනගත්තේ සවස 6.00 ට පමණ බව පැවසූ දේවගැතිවරයා සඳහන් කළේ හඳුනාගැනීමට නොහැකිව තිබූ මෘත ශරීර 03 ක් අතරින් එදින උදෑසන තම පුතු ඇද සිටි කමිසය මගින් ඉන් එක මෘත ශරීරයක් තම පුතුගේ බව හඳුනාගත් බවයි.

ප්‍රහාරය සිදුවූ 21 වැනිදාට පෙර ඔබ බෝම්බකරු දැක තිබේදැයි කොමිසම දේවගැතිවරයාගෙන් තවදුරටත් විමසා සිටියා.

දේවගැතිවරයා පිළිතුරු දෙමින් කියා සිටියේ තමන් මීට පෙර ඔහු දැක නොමැති අතර, උමර්ගේ හැඩහුරුකම් ඇති පුද්ගලයෙකු පෙරදිනක පැමිණ ගොස් ඇති බවට දේවස්ථානයේ වෙනත් දේවගැතිවරයෙකු දැක තිබෙනවා යන්නයි.

ඔහුගේ සාක්ෂිදීම අවසන් වූ පසු සියෝන් දේවස්ථානයේ පිපිරීම සිදුවන අවස්ථාවේ සිටි නාගයියා ස්ටැන්ලි දේවගැතිවරයා කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නා.

කොමිසම ඔහුගෙන් විමසා සිටියේ සියෝන් දේවස්ථානයට පැමිණි උමර් නම් පුද්ගලයා සමග කුමන කතාබහක් ඇතිවුණේද යන්නයි.


ඔහුට දේවස්ථානයට ගොස් අසුන් ගන්නා ලෙස සඳහන් කළත් ”‍තව ටිකකින් දුරකථන ඇමතුමක් ලැබෙන්න තියෙනවා.”‍ යැයි පවසා උමර් එය ප්‍රතික්ෂේප කළ බව දේවගැතිවරයා ප්‍රකාශ කළා.

උමර් සම්බන්ධයෙන් හටගත් සැකයත් තමන්ට විදේශයන්හි ඇති අත්දැකීම් මතත් උමර්ගේ පෙනුම අයි.එස්.අයි.එස් ත්‍රස්තයන්ට සමාන බවද තමන් සහෝදර පියතුමාට පැවසූ බව දේවගැතිවරයා සඳහන් කළා.

එම සාකච්ඡාව සිදුවන අවස්ථාවේදී උමර් සිටියේ කුමන ස්ථානයේදැයි කොමිසම මෙහිදී ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු ලබාදුන් නාගයියා ස්ටැන්ලි දේවගැතිවරයා සඳහන් කළේ උමර් දේවස්ථානයට පැමිණි වේලාවේ සිටි ස්ථානයේම ඒ වන විටත් රැදී සිටි බවත් බදාදා දිනයේ පැවැත්වෙන සුවය දෙන යාඥාවට උමර්ට සහභාගි වන්නැයි දන්වන ලෙස තම සහෝදර දේවගැතිවරයාට පවසා පෙරවරු 9.00 ට පමණ දේවමෙහෙය ආරම්භ කළ බවත්  ඔහු සදහන් කළා.

දේවගැතිවරයා වැඩිදුරටත් සදහන් කළේ දේවමෙහෙය අතරතුර උමර් එම ස්ථානයේ සිටිනවාදැයි තමන් නිරීක්ෂණය කළත් ඔහු එහි නොසිටි නිසා සහෝදර දේවගැතිවරයා විසින් උමර්ව එම ස්ථානයෙන් පිටත්කර හරින්නට ඇතැයි තමන් සිතූ බවයි. ප්‍රහාරයෙන් පසු දැඩි කම්පනයක සිටියදී තම බිරිද මුණ ගැසුනත් තම දරුවා පිළිබඳ තොරතුරක් නොලැබුණ බව දේවගැතිවරයා කොමිසම හමුවේ ඉතා සංවේදීව සදහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories