මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් සලකා බැලීම අවසන් - විභාගයට ගන්නවාද නැද්ද, තීරණය හෙට පස්වරුවේ (වීඩියෝ)

Monday, 01 June 2020 - 17:21

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+-+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%AF+%E0%B6%B1%E0%B7%90%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%2C+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ජුනි මස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම අද අවසන් කෙරුණා.

එම පෙත්සම් විභාග කරනවා ද නැද්ද යන්න පිළිබඳ තීන්දුව හෙට පස්වරු 3ට ප්‍රකාශයට පත් කරන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළු‍විහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද 10 වන දිනටත් එම පෙත්සම් සලකා බැලුණා.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පිළිතුරු දේශන ඉදිරිපත් කිරීම අද සිදුවූ අතර, එහිදී ජනාධිපති නීතීඥ එම්.ඒ. සුමන්දිරන් කරුණු දක්වමින් කියා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හළ පමණින් එහි අඛණ්ඩතාව බිඳ වැටීමක් සිදුනොවන බවයි.

එසේ බිඳ වැටීමක් සිදුවන්නේ නම්, ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 77 වන වගන්තිය යටතේ හදිසි අවස්ථාවක් උද්ගත වූ විට එය යළි කැදවීමට ජනාධිපතිවරයාට අවසර හිමි වන්නේ කෙසේ දැයි ප්‍රශ්න කර සිටියා.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම තුළින් සිදුවන්නේ එහි සභිකයන්ගේ නිළ කාලය අවසන් වීමක් පමණක් බවත්, ඒ තුළින් පාර්ලිමේන්තුව මිය යාමක් සිදුනොවන බව ද ඔහු පෙන්වා දුන්නා.

මාර්තු මස 2 වන දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව හෙට දින වන විට මාස 3ක කාලයක් සම්පූර්ණ වන බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා, මේ වන විට මැතිවරණයක් පැවැත්වීම මැතිවරණ කොමිසම විසින් දින නියමක් නොමැතිව කල් දමා ඇතැයි ද පෙන්වා දුන්නා.

මෙම පෙත්සම් ගොනු කිරීම සඳහා පෙත්සම්කරුවන්ට කිසිදු නීතිමය පදනමක් නොමැති බව වගඋත්තරකාර පාර්ශවය විසින් අධිකරණය හමුවේ මීට පෙර කරුණු දක්වා තිබුණා.

මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන්, මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන්, පිළිගත් දේශපාලන පක්ෂ හා මීට පෙර ද විවිධ අවස්ථාවල මහජන නඩුකරයන් ඉදිරිපත් කළ පාර්ශව විසින් බවයි පෙන්වා දුන්නේ.

නියමිත නීතිමය කාලසීමාව තුළ මෙම පෙත්සම් ඉදිරිපත් කර නොමැති හෙයින් ඒවා සියල්ල විභාගයට නොගෙන නිශ්ප්‍රභ කරන ලෙස වගඋත්තරකරුවන් විසින් මූලික විරෝධතාවක් මතු කර තිබුණා.

එහෙත් එම විරෝධතාව ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් කියා සිටියේ ඒකාබද්ධ කර තිබූ උතුරු - නැගෙනහිර පළාත් වෙන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය කාලයේ ලබාදුන් තීන්දුවට පාදක වන මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබුණේ එම පළාත් ඒකාබද්ධ කර වසර 17කට පසුව බවයි.

මහමැතිවරණය සඳහා මාර්තු මස 17, 18 සහ 19 යන දිනයන් රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර තිබුණ ද එම දිනවල නාම යෝජනා භාර ගැනීම නීතිවිරෝධී නොවන බවට වගඋත්තරකරුවන් සිය දේශනවලදී කරුණු දක්වා තිබුණා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති එම්.ඒ. සුමන්දිරන් කියා සිටියේ ඉතිහාසයේ කිසිදු අවස්ථාවක ඉරු දින, පොහොය දින සහ රජයේ නිවාඩු දිනවල නාම යෝජනා පත්‍ර භාර ගෙන නොමැති බවයි.

මේ අතර, මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, අතරමැදි පෙත්සම්කරුවන් සහ නීතිපතිවරයා විසින් සිය සේවාදායකයින්ට මැතිවරණය පැවැත්වීම සිතාමතාම ප්‍රමාද කරන බවට මතු කළ චෝදනා ප්‍රතික්ෂේප කළා.

කොරෝනා වසංගතය උද්ගත වීමෙන් පසු තම සේවාදායකයින් මැතිවරණය පැවැත්වීම කල් දමනු ලැබුවේ පසුගිය මාර්තු මාසයේදී සෞඛ්‍ය බලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් පසුව බවයි ඔහු සඳහන් කළේ.

මැතිවරණය කල් දැමීම, මැතිවරණ කොමිසම විසින් නීත්‍යානුකූල ආකාරයට සිදුකර ඇති හෙයින් එම කොමිසමට එරෙහි කිසිදු නියෝගයක් නිකුත් නොකරන ලෙසත්, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

සියළු කරුණු විමසීම අවසන් කිරීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ මෙම පෙත්සම් විභාගයට අවසර දෙන්නේ ද නැද්ද යන නියෝගය ප්‍රකාශ කිරීම හෙට පස්වරු 3ට නිවේදනය කරන බවයි.



සුනිල් ජයවර්ධන ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරු 08 දෙනා යළි රිමාන්ඩ්
Monday, 06 July 2020 - 14:26

ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ... Read More

පර්පචුවල් ට්‍රෙෂරීස් තහනම දීර්ඝ කරයි
Monday, 06 July 2020 - 14:14

පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම විසින් ප්‍රාථමික අළෙවිකරුවෙකු... Read More

උතුරු දිග චීන - මොංගෝලියා ප්‍රදේශයෙන් මහාමාරිය රෝගියෙකු සොයා ගැනේ
Monday, 06 July 2020 - 14:06

උතුරු දිග චීනයේ, ‘‘ඇතුළු - මොංගෝලියා’’ ස්වයං පාලන ප්‍රදේශයෙන්... Read More