පාස්කු ප්‍රහාරයදා බෝම්බකරුවෙකු නිවසට ගොස් හඩා වැටී ඇති බව හෙළිවේ (වීඩියෝ)

Wednesday, 03 June 2020 - 12:46

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
පාස්කු ඉරුදින ෂැංග්‍රීලා හෝටලයට ප්‍රහාර එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වූ ඉල්හාම් අහමඩ්, එදින අළුයම 1ට පමණ නිවසට ගොස් සිය බිරිඳ හා දරුවන් වැළඳගෙන හඬා වැටී ඇති බව ඊයේ අනාවරණ වුණා.

ඒ, අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කෙරුණු ජනාධිපති කොමිෂන් සභාව හමුවේයි.

එහිදී ඊයේ ප්‍රථමයෙන් සාක්ෂි දුන්නේ ෂැංග්‍රීලා හෝටලයට එක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ඉල්හාම් අහමඞ්ගේ බිරිඳගේ සහෝදරයායි.

ෆාතිමා ජිෆ්රි නම් තම සහෝදරිය කුඩා කාලයේ සිටම සාමාන්‍ය යුවතියක් ලෙස හැදී වැඩුණු බව සාක්ෂිකරු කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

20 වියේ පසුවූ ඇය 2012 නොවැම්බර් 4 වැනිදා ඉල්හාම් අහමඞ් සමග විවාහ වූ බවත්, අනතුරුව සිය සැමියාගේ නිවස වන දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි නිවසට පදිංචිය සඳහා ගිය බවත් සාක්ෂිකරු පැවසුවා.

විවාහයෙන් අනතුරුව නැඟණිය සහ ඇයගේ සැමියා වූ ඉල්හාම් අහමඞ්, තම පවුල සමඟ පැවති සබඳතා ක්‍රම ක්‍රමයෙන් අඩු කළ බව පැවසු ඔහු ජනාධිපති කොමිසම හමුවේ පෙන්වා දුන්නේ පසු තම නැගණිය අන්තවාදී අදහස් දරණ තැනැත්තියක් බවට පත් වූ බවයි.

එම නිසා තම විවාහයටද ඇය සහභාගී නොවූ බව ඔහු ප්‍රකාශ කළා.

වරක් තම පියා සිංහල ජනතාවට සහ විහාරස්ථානවලට උපකාර කරන බව දැනගත් ඉල්හාම් අහමඩ් ඔහුට දැඩි ලෙස පරිභව කළ බව පැවසු සාක්ෂිකරු ඒ පිළිබඳව සිය නැගනියගෙන් විමසූ විට තමාද සැමියාගේ මාර්ගයේ ගමන් කරන බවට ප්‍රකාශ කළ බව කොමිසම හමුවේ කියා සිටියා.

පාස්කු ප්‍රහාරය එල්ල වූ දිනයේ උදෑසන 8ත් 8.30ත් අතර කාලයේදී නැඟණිය සිය මවට දුරකතනයෙන් අමතා ඉක්මනින් සිය නිවසට පැමිණෙන ලෙස දැන්වූ බව සාක්ෂිකරු පැවසුවා.

එහිදී දුකින් සිටින්නේ ඇයිදැයි මව විමසූ අවස්ථාවේදී, එදින අලුයම 1 ට පමණ සැමියා පැමිණ දරුවන් වඩාගෙන හඬා පිටවූ බවටත්, ඔහුගේ දුරකතනය ක්‍රියාවිරහිත කර ඇති බවටත් නැඟණිය පිළිතුරු දී ඇති බව මෙහිදී ඔහු කොමිසම හමුවේ අනාවරණ කළා.

මව, නැඟණිය බැලීම සඳහා දෙමටගොඩ, මහවිල උද්‍යානයේ පිහිටි නිවසට ගිය බව පසු තම දරුවන් රැකබලාගන්නා ලෙසට නැගනිය ඇයට පවසා ඇති බවද සාක්ෂිකරු සඳහන් කළා.

ඔහු කියා සිටියේ දහවල් 1 ට 1.30 ට පමණ ආහාර ගැනීමට මව පහත මාලයට පැමිණි අවස්ථාවේදී පොලීසිය එම නිවසට පැමිණ තිබූ බවයි.

එම අවස්ථාවේදී නිවසේ බෝම්බ පිපිරීම සිදුව ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

මව තම නිවසට පැමිණ රූපවාහිනිය නැරඹීමේදී මෙම සිද්ධිය දැනගත් බව සාක්ෂිකරු ප්‍රකාශ කළ අතර, බෝම්බ පුපුරා ගියේ ඔහුගේ මව මහවිල උද්‍යානයේ පිහිටි නිවසේ සිටින අවස්ථාවේදී ද යන්න එහිදී කොමිසම විමසුවා.

ඒ සම්බන්ධයෙන් තම මවට මතකයක් නොතිබූ බව සාක්ෂිකරු ප්‍රකාශ කළා.

ඉල්හාම් අහමඞඩ්ගේ පියා වන ඊබ්‍රාහිම් හජ්ජියාර්ගේ දේශපාලන සබඳතා පිළිබඳව ජනාධිපති කොමිසම කළ විමසීමකදී, ජේ.වී.පී. ය සමග ඔහුට දැඩි දේශපාලන සබඳතාවක් තිබූ බවද සාක්ෂිකරු ප්‍රකාශ කළා.

ඉන් අනතුරුව කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේ, ඉල්හාම් අහමඩ් පදිංචිව සිටි මහවිල උද්‍යානයේ පිහිටි නිවසේ මාස 3 ක සිට සේවය කළ ගලහ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

ඇය පැවසුවේ අවස්ථා රැසකදී ඔහු කිසියම් ලිපිලේඛන තොගයක් ගිනිබත් කරන ආකාරය දුටු බවයි. ඒවායේ ඉංග්‍රීසි අකුරු තිබෙනු තමා දුටු බවත් ඇය කියා සිටියා.

2019 අප්‍රේල් 21 වැනිදා දහවල් පොලිස් නිලධාරීන් පිරිසක් නිවසට පැමිණ තමන් ඇතුළු පිරිසක් වෙනත් ස්ථානයකට යොමු කළ බවත්, තවත් නිලධාරීන් කණ්ඩායමක් ඉහළ මාලයට ගිය බවත් ඇය ප්‍රකාශ කළා.

එහිදී දොර අරින්න යනුවෙන් නිලධාරියෙකු පවසන ශබ්දය ඇසුණු බව පැවසු සාක්ෂිකාරිය ඉන් අනතුරුව එහි බෝම්බය පුපුරා ගිය බවද කොමිසම හමුවේ අනාවරණ කළා.

පාස්කු ප්‍රහාරයේ දෙමටගොඩ පිපිරීමේ නොදුටු දසුන් පහතින්





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories