වෛද්‍ය සංගමයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනා (වීඩියෝ)

Tuesday, 30 June 2020 - 19:10

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


රට තුළ කොරෝනා දෙවන රැල්ලක අවදානම තේරුම් ගනිමින් සියලු දෙනා අවධානයෙන් කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පෙන්වා දෙනවා.

එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කලේ සෞඛ්‍ය මාර්ගෝපදේශණ ඇතුලත් ගැසට් පත්‍රය මෙතෙක් නිකුත් නොවීම සම්බන්ධයෙන් ගැටලුකාරිත්වයක් පවතින බවයි.  

මේ අතර කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලැබූ තවත් 33 දෙනෙකු අද දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඉන් 9 දෙනෙකු ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ නේවාසිකව ප්‍රතිකාර ලැබූවන්.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1711ක් දක්වා ඉහළ යන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.

කොරෝනා ආසාදනය වී සිටි නාවික හමුදාවේ තවත් සාමාජිකයින් 10 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර ඒ අනුව නාවික හමුදාවේ සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 836 ක්.

අද දිනයේදී තවත් කොරෝනා ආසාදිතයන් පස්දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිත සංඛ්‍යාව 2,047 දක්වා ඉහළ ගියා.

එම ආසාදිතයන්  ඕමානයේ සිට දිවයිනට පැමිණි පිරිසක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම දෝහා කටාර් හි රැඳී සිටි 168 දෙනෙකු සහ මැලේසියාවේ සිට ශ්‍රී ලාංකිකයන් 150 දෙනෙකු අද දිවයිනට පැමිණියා.

මේ අතර, ජාතික කෞතුකාගාරය ඇතුළු වසා දැමුණු කෞතුකාගාර සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව හෙට සිට දිනපතා පෙරවරු 09 සිට පස්වරු 4.30 දක්වා මහජනතාව වෙනුවෙන් විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම, උසස් පෙළ විභාගය පවත්වන දිනය සම්බන්ධව සිසුන්ගේ අදහස් විමසීමකින් පසුව තීරණය කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම  ඊයේ හිරු ටී.වී. සලකුණ වැඩසටහනට එක්වෙමින් කියා සිටියා.

මේ අතර, යලි කොරෝනා අසාදිතයින් ඉහලයාම වැළැක්වීම සඳහා  ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරට අයත් ප්‍රදේශ 36ක් දැඩි සෞඛ්‍ය නිතී රිති යටතේ පාලනය කිරීමට තීරණය වී තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් පිලිපැදීමට කටයුතු කරන ලෙස බලධාරින් ජනතාවගෙන් ඉල්ලා සිටින අතර අත්‍යවශ්‍ය කටයුතු සදහා පමණක් නිවසින් බැහැර වන ලෙසයි දැනුම් දී ඇත්තේ.  

ලොව පුරා රටවලින් වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 10436,954 ක් වන අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 508,876 ක්.