තරග පාවාදීම් සිදුව නැහැ - විමර්ශන අවසන් (වීඩියෝ)

Friday, 03 July 2020 - 15:48

%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C+%E0%B6%B4%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29




2011 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සමඟ පැවති අවසන් තරඟයේදී පාවාදීමක් සිදුව ඇති බවට අනාවරණ නොවීම හේතුවෙන් ඊට අදාළව සිදුකළ විමර්ශන අවසන් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා සඳහන් කළේ මෙම තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරඟ පාවාදීමක් සිදුකර නොමැති බවට විමර්ශනවලදී හෙලි වූ බවයි.

මෙම ප්‍රකාශය පිළිබඳව සමාජයේ දැඩි කතාබහක් ඇති වූ අතර, විදෙස් මාධ්‍යද ඊට ලබාදුන්නේ පුළුල් ප්‍රචාරයක්.

පසුව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර කළ දැනුම්දීමකට අනුව 2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කළා.

ඒ අනුව එම ඒකකයේ නිලධාරීන් පසුගිය මස 24 වැනිදා නාවලපිටියට ගොස් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගත්තා.

ඔහු ලබාදුන් තොරතුරුවලට අනුව පසුගිය අඟහරුවාදා එවකට ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අරවින්ද ද සිල්වාගෙන් ප්‍රකාශ සටහන් කරගත් පොලිසිය, අවසන් තරඟයේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ උපුල් තරංගගෙන් සහ එවකට කණ්ඩායමේ නායකයාව සිටි කුමාර් සංගක්කාරගෙන් ප්‍රකාශ ලබාගත්තේ ඊයේ සහ පෙරේදා දිනවලදීයි.

කෙසේ වෙතත්, හිටපු ක්‍රීඩක කුමාර් සංගක්කාර විමර්ශන ඒකකය වෙත කැඳවා ප්‍රකාශ ලබාගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ දැඩි විරෝධයක් එල්ල වුණා.

එවන් පසුබිමකයි හිටපු ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන ප්‍රකාශ ලබාගැනීම සඳහා ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය වෙත අද කැඳවා තිබුණේ.

කෙසේ වෙතත්, එම ඒකකය අද උදෑසන හිරු ප්‍රවෘත්ති අංශය වෙත සඳහන් කළේ මහේල ජයවර්ධනට අද දිනයේ නොපැමිණෙන ලෙස දැනුම් දුන් බවයි.

එහෙත්, පෙරවරුවේ සිය නීතිඥයින් සමඟ මහේල, ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය වෙත පැමිණියත්, කිසිදු ප්‍රකාශයත් සටහන් කර ගැනීමක් සිදු නොවුණු නිසා මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් ඔහු එම ස්ථානයෙන් පිටත්ව ගියා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න අද පස්වරුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කළේ ලබාගත් සාක්ෂිවලට අනුව අවසන් තරඟය පාවාදීමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය නොවන නිසා අදාළ විමර්ශනය අවසන් කිරීමට තීරණය කළ බවයි.

මේ අතර, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන මෙහෙයුම් ප්‍රධානී ඇලෙක්ස් මාර්ෂල් අද පස්වරුවේ සඳහන් කළේ 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය සම්බන්ධයෙන් අයි.සී.සී. ය විමසා බැලීමක් සිදුකළ බවයි.

එහිදී අයි.සී.සී. දූෂණ මර්දන වැළැක්වීමේ ආචාර ධර්ම පද්ධතියට අනුව පරීක්ෂණයක් සිදුකිරීමට තරම් හෝ සාක්ෂි නොමැති බව අනාවරණ වී ඇති බවයි ඔහු කියා සිටියේ.

එසේම, එම කාලය තුළදී ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් කිසිදු ලිපියක් යොමුකර නොමැති බව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන මෙහෙයුම් ප්‍රධානී ඇලෙක්ස් මාර්ෂල් ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories