ඉතියෝපියාවේ සිට 230ක් ශ්‍රී ලංකාවට

Monday, 06 July 2020 - 7:13

%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+230%E0%B6%9A%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
අප්‍රිකානු මහද්වීපයට අයත් රටක් වන ඉතියෝපියාවේ සිට ශ්‍රී ලාංකිකයන් 230 දෙනෙකු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයකින් අද අලුයම 3.50 ට දිවයිනට පැමිණියා.

මොවුන් සියලුදෙනා පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකර තිබෙනවා.

මේ අතර, කොළඹ 13 - ජින්තුපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගත් පුද්ගලයාට සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණ 5ක ප්‍රතිඵල මගින් ඔහුට කොරෝනා ආසාදනය වී නොමැති බවට අනාවරණ වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහු රෝහලින් පිටත් කර යවා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර තිබූ 154 දෙනා නැවත සිය නිවෙස් වෙත පිටත් කර යැවූ බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ.

මෙම 154 දෙනා පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කර ඇති අතර, ඔවුන් අතරින් කිසිවෙකුටත් කොවිඩ් 19 ආසාදනය වී ඇති බව හඳුනාගෙන නැහැ.

පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ 13 - ජින්තුපිටිය ප්‍රදේශයෙන් කොවිඞ් 19 ආසාදිතයෙකු වාර්තාවුණා.

විදේශගතව සිට පැමිණි මුහුදු ආරක්ෂකයෙකු වන මොහුට අඛන්ඩව අවස්ථා 5 කදී පී.සී.ආර් පරීක්ෂණ සිදුකර එහි ප්‍රතිඵල මත කොවිඩ් 19 ආසාදිතයෙකු නොවන බවට තහවුරු වී තිබෙනවා.

එමෙන්ම ඊයේ දිනයේ නව කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,076 දක්වා ඉහළ ගියා.

මෙලෙස සොයාගත් ආසාදිතයන් දෙදෙනා බහරේන් හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා සිටි පුද්ගලයන් වනවා.

ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 162 කු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 1,903ක්.