ජනපති කොළඹ ජන හමු කිහිපයකට එක්වෙයි (ඡායාරූප)

Friday, 10 July 2020 - 7:23

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%A2%E0%B6%B1+%E0%B7%84%E0%B6%B8%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ සංවිධාන කළ ජනහමු රැසකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ එක්වුණා.

ප්‍රථමයෙන් ජනාධිපතිවරයා මට්ටක්කුලිය - කාක දූපත ප්‍රදේශයේ පැවති ජනහමුවට එක්වූ අතර, එහිදී ජනතාවගෙන් ජනාධිපතිවරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමක්.

පැල්පත් ඉවත් කළා සේම මත් උවදුරත් රටින් අතුගා දමා දරුවන්ගේ අනාගතය බේරාදෙන ලෙස මට්ටක්කුලියේ ජනතාව එහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.

ඉතිරිව ඇති පැල්පත් ඉවත් කර නිවාස ඉදිකර දෙන්නැයි මෙහිදී ජනතාව ඉල්ලා සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැමිණියේ මැද කොළඹ ආසනය වෙනුවෙන් සංවිධාන කර තිබූ ජනහමුවටයි.

එමෙන්ම, තවත් ජනහමුවක් විහාර මහාදේවී උද්‍යානයේ එලිමහන් රංග පීඨය ඉදිරිපිටදී පැවැත්වුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.

කඩුවෙල ආසනයේ ජයග්‍රහණය වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ ජන හමුවක් සංවිධාන කර තිබුණා.

එම ජනහමුව පැලවත්ත - බුද්ධදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වුණු අතර, එහි පැමිණි ජනාධිපතිවරයාට ජනතාවගෙන් හිමිවූයේ උණුසුම් ප්‍රතිචාරයක්.

මේ අතර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිලගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ඊයේ පස්වරුවේ බත්තරමුල්ල - දියත උයනේ ජනහමුවටද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එක්වුණා.