වැලිකඩින් ඊයේ වාර්තා වූ ආසාදිතයා කරණවෑමියෙක් (වීඩියෝ)

Saturday, 11 July 2020 - 13:04

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%96+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%91%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


වැලිකඩ බන්ධනාගාරයෙන් හමුවූ කොරෝනා ආසාදිත රැදවියා එම බන්ධනාගාරය තුළ කොණ්ඩා කපන අංශයේ කරණවෑමියෙකු ලෙස කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව එම බන්ධනාගාරයේ නිලධාරීන් 170කට ආසන්න පිරිසක් ද ඔහුගෙන් සේවය ලබාගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීම අදාළ බන්ධනාගාර අංශ සහ බන්ධනාගාරයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ වන විටත් කටයුතු කරමින් සිටින බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක ලෙස කටයුතු කළ තවත් කාන්තාවක කිරින්ද - මාරද්ද ප්‍රදේශයේ ද සංචාරය කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

එසේම, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක ලෙස කටයුතු කළ කොරෝනා ආසාදිත 27 හැවිරිදි තරුණිය සමඟ ආශ්‍රිත සබඳතා පැවැත්වූ බවට හඳුනා ගෙන ස්වයං නිරෝධායනය සඳහා යොමු කළ 29 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂාවන් අද සිදුකෙරුණා.

එහි ප්‍රතිඵල අද පස්වරුවේ ලැබීමට නියමිත අතර, ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා තවදුරටත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය අංශ විමර්ශන සිදුකරනවා.

ඊයේ වාර්තා වූ අවසන් ආසාදිතයන් තුන් දෙනා කන්දනාඩු පුනරුත්ථාපන කදවුරේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකු සහ ඔහුගේ දරුවන් දෙදෙනා බව අනාවරණ වනවා.

ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනී එච්.ඒ. අබේරත්න සඳහන් කළේ ඔවුන්ගේ ආශ්‍රිතයන් ද නිරෝධායනයට ලක් කිරීමට පියවර ගන්නා බවයි.

මේ අතර, පලාලි ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ 100 දෙනෙකු ඉන් පිටව ගොස් තිබෙනවා.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුශාන් විජේසිංහ සඳහන් කළේ මැදපෙරදිග සිට මෙරටට පැමිණ නිරෝධානයට ලක්වූ පිරිසක් එලෙස අද දිනයේ නිවෙස් වෙත පිටත් කර යැවූ බවයි.

කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 234 දෙනෙකු ද අද උදෑසන දිවයිනට පැමිණියා.

කෙසේ නමුත්, විදේශයන් හි රැදී සිටින ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල තාවකාලිකව අඩාල කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ඔහු සඳහන් කළේ නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩකඩ සීමිත වීම ඇතුළු කරුණු කිහිපයක් සලකා මෙම තීරණයට එළඹි බවයි.