තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවෙයි

Tuesday, 14 July 2020 - 22:11

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ආසාදිතයන් 19 දෙනෙකු ඊයේ දිනයේ හඳුනාගැනීමත් සමඟ මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 2,665ක් දක්වා ඉහළ ගියා.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තාවූ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් නවදෙනෙකු, සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් හතරදෙනෙකු, ඕමානයේ සිට දිවයිනට පැමිණි පුද්ගලයින් හතරදෙනෙකු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි දෙදෙනෙකු ඒ අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තාවූ ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් ලෙස වාර්තාවූ පුද්ගලයින් කුණ්ඩසාලේ, රාජාංගණය සහ ලංකාපුර ප්‍රදේශවලින් වාර්තාවී තිබුණා.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයෙකු හමුවීමේ සිද්ධිය ආශ්‍රිතව මේ වන විට කොරෝනා ආසාදිතයින් 532ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

මේ වනවිට ආසාදිතයන් 666 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර, වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 1,988 දෙනෙකු සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ආසාදිතයන් හමුවන බවට සමාජ මාධ්‍ය තුළ පැතිර යන කටකථා අසත්‍ය බව ඊයේ ප්‍රකාශ කළා.

මේ අතර, ඇඳිරි නීතිය පැනවීමට හෝ නිවාඩු දින ප්‍රකාශයට පත් කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ ඇතැම් පාර්ශවයන් සමාජය තුළ අනවශ්‍ය කැළඹීම් ඇති කිරීමේ අරමුණින් අසත්‍ය තොරතුරු පතුරුවමින් සිටින බව පෙනී ගොස් ඇති බවයි.

එවැනි අසත්‍ය ප්‍රචාරයන් සමාජගත කරන පිරිස් පිළිබඳ විධිමත් පරීක්ෂණ පවත්වන ලෙස රජය අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇති බව ද එම නිවේදනයේ දැක්වෙනවා.

නොමග යවන ප්‍රචාරවලට නොරැවටී, සෞඛ්‍යාරක්ෂණ උපක්‍රම අනුගමනය කරමින් ආරක්ෂිතව සහ විචක්ෂණශීලීව කටයුතු කරන ලෙසට ද රජය ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

එමෙන්ම, අද සිට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ එක්දින සහ සාමාන්‍ය සේවා කවුළු නැවත දැනුම්දෙනතුරු සෞඛ්‍යාරක්ෂිත හේතූන් මත තාවකාලිකව වසා තබන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එහෙත් සහතික පත්‍ර ලබාගැනීමට අවශ්‍ය අයදුම්කරුවන් ඒ සඳහා ඔන්ලයින් ක්‍රමය ඔස්සේ හා විද්්‍යුත් තැපෑල මගින් අයදුම්කර පැය 48ක් ඇතුළත සහතික පත්‍ර නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම් සළසා දී ඇති බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මේ අතර, කොළඹ සහ ගාල්ල වරායන් හි නැංගුරම්ලා ඇති නෞකාවල සේවය කිරීම සඳහා විදේශීය නාවිකයන් 47 දෙනෙකු අද අලුයම කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියා.

ඉන් හතලිස් දෙදෙනෙකු කටාර් රාජ්‍යයේ දොහා හි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර තවත් 5 දෙනෙකු මත්තලට පැමින තිබුණේ ඉන්දියාවේ බැංගලෝර් සිටයි.

එමෙන්ම, බැංගලෝර් සිට පැමිණි යානය ශ්‍රී ලංකාවේ රැදී සිටි නාවිකයන් 17 දෙනෙකු රැගෙන යළි ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.