අඟුලාන පොලිසිය ඉදිරිපිට කලහකාරීව හැසිරුණු 13ක් අත්අඩංගුවට (වීඩියෝ)

Thursday, 16 July 2020 - 19:38

%E0%B6%85%E0%B6%9F%E0%B7%94%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BD%E0%B7%84%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B7%80+%E0%B7%84%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94++13%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


අඟුලාන පොලිස් ස්ථානය ඉදිරිපිට කලහකාරීව හැසිරීම සම්බන්ධයෙන් කාන්තාවන් ද ඇතුලුව 13 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

අඟුලාන පොලීසිය ඉදිරිපිට අද පස්වරුවේ ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය කඳුලූ ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

මෙලෙස උණුසුම් තත්ත්වයක් හට ගත්තේ  පසුගියදා මොරටුව - ලූනාව පාලම අසළදී පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විරෝධතාවයේ නිරත වූ ප්‍රදේශවාසීන් පිරිසක් පොලීසිය දෙසට ගල් මුල් ප්‍රහාර එල්ල කිරීමත් සමගයි.

එහිදී, පිරිස පාලනය කිරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ අතර, ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය ද කැඳවීමටයි පියවර ගෙන තිබුණේ.

ඔවුන් මෙලෙස පොලීසිය ඉදිරිපිටට ගොස් කලහකාරි ලෙස හැසිරීමට පෙර මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ද විරෝධතාවයක නිරත වුණා.

ඒ එම වෙඩි තැබීමේ සිද්ධියට අදාළ නඩුව අද මහේස්ත්‍රාත් අධිකරණය කැඳවන අතරතුරදීයි.

එහිදී මියගිය පුද්ගලයාගේ මව ඇතුළු පවුලේ ඥාතීන් ඊට එක්ව සිටියා.

එම විරෝධතාවයෙන් අනතුරුවයි ඔවුන් අඟුලාන පොලීසිය ඉදිරිපිටට ගොස් පොලීසිය දෙසට ගල් මුල් ප්‍රහාර එල්ල කර ඇත්තේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ මෙම පහරදීමෙන් පොලිස් ස්ථානයේ නාම පුවරුව, ජනෙල්, වීදුරු ආදියට අලාභ හානි සිදුව ඇති බවයි.

අඟුලාන පොලිස් ස්ථානය ඉදිරිපිටට පැමිණි මියගිය පුද්ගලයාගේ ඥාතීන් ඇතුළු 100ක පමණ පිරිසක් කළහකාරි ලෙස හැසිරෙමින් ගල්මුල් ප්‍රහාර එල්ල කර ඇති බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් කියා සිටියා.

පසුගිය 10 වනදා රාත්‍රී 12.25 ට පමණ අඟුලාන පොලීසියේ ජංගම මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරින් 3 දෙනෙකු හදිසි මාර්ග බාධයක් යොදවා මොරටුව - ලූනාව පාලම අසළදී ත්‍රිරෝද රථ දෙකක් නවතා පරීක්ෂා කිරීමේදී එහි සිටි පුද්ගලයින් 5 දෙනෙකු අතරින් එක් අයෙක් පොලිස් රාජකාරියට බාධාකරමින් පොලීසියට ගල් ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කර තිබුණා.

එහිදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් අඟුලාන ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වුණා.

පසුව සිද්ධියට අදාළව පොලිස් නිලධාරින් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරීමටයි කටයුතු කර තිබුණේ. සිද්ධියේ විමර්ශන කටයුතු අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට නියෝග කර ඇති අතර, යළි නඩුව කැඳවීම මේ මස 30 වනදා දක්වා කල් තබා තිබෙනවා.