වැඩ තහනමට ලක්වූ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා වරදක් පිළිගනී (වීඩියෝ)

Thursday, 16 July 2020 - 22:24

%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A+%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


පාස්කු ප්‍රහාරයට පෙර සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් විවෘත වරෙන්තුව පිළිබඳව දිවයිනේ සෙසු පොලිස් ස්ථාන දැනුවත් නොකිරීම වරදක් බව ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසය භාරව සිට වැඩ තහනමට ලක්වූ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද පිළිගත්තා.

ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින්.

දැනට වැඩ තහනමට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා කොමිසම හමුවේ දෙවැනි දිනටත් සාක්ෂි දෙමින් කියා සිටියේ 2005 - 2015 කාලය තුළ මෙරට තුළ ක්‍රියාත්මක වූ මද්‍රසා පාසල්වල, ඉගැන්වීම් කටයුතු සඳහා සෞදි අරාබියේ සිට පැමිණි දේශකයින් එම පාසල්වල අන්තවාදී ඉගැන්වීම් සිදු කළ බවයි.

එම දේශකයින්ට වීසා නිකුත් කිරීම සඳහා මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව විදේශ කටයුතු අමාත්‍යංශය හරහා මැදිහත් වූ බවත් පසුව එම ක්‍රියාවලියේදී රාජ්‍ය බුද්ධි සේවය දැනුවත් කර ඒ හරහා එය සිදුකරන ලෙස දැනුම් දුන් බවත් ඔහු එහිදී කියා සිටියා.

2015 පෙබරවාරි 25 වැනිදා තමන්ට ත්‍රස්ත මර්ධන හා විමර්ශනය කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස ස්ථාන මාරුවක් ලැබුණු බව පැවසූ නාලක ද සිල්වා මහතා සදහන් කළේ, එය දේශපාලන ස්ථාන මාරුවක් ලෙස ලැබුනු එකක් බවයි.

කෙසේ වෙතත් ත්‍රස්ත මර්දන ඒකකය ප්‍රතිව්‍යූහ ගත කර, ඒ තුළ ආගමික අන්තවාදය සහ පාතාල ක්‍රියාකාරකම් පිළිබඳ සෙවීමට වෙනම ඒකක දෙකක් ස්ථාපිත කළ බව ඔහු සඳහන් කළා.

ඉන්පසු එම ඒකකයට 2018 වසරේ අගෝස්තු මාසයේ දී ජපන්‍ රජය විසින් අති නවීන තාක්ෂණයෙන් යුත් ක්ෂේත්‍ර ආවේක්ෂණ වෑන් රථයක් ලබාදුන් අතර එයට පුද්ගලයෙකුගේ ඡායාරූපයක් ලබාදීමෙන් පසු මිනිස් සමූහයක් අතරින් අදාළ පුද්ගලයා හඳුනාගැනීමට හැකියාවක් තිබුණු බවත් ඔහු සඳහන් කළා.

මෙහිදී කොම්සම විමසුවේ සහරාන් හෂීම්ගේ පිංතූරයක් එම රථයට ඇතුළත් කර ඔහුව හදුනාගැනීමට හැකියාවක් පැවතියේද යන්නයි.
 
එහි දී නාලක ද සිල්වා මහතා සඳහන් කළේ, එවැනි පහසුකමක් පැවති නමුත් එම වාහනය කොළඹින් බැහැරට ගෙන නොගිය බවයි.

වාහනය ලැබී මාස දෙකකින් පසු තමන්ව අත්ඩංගුවට පත් වූ අතර ඉන් පසු එම වාහනය භාවිතයෙන් ඉවත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උපදෙස් දී තිබූ බව නාලක ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියා.

අනතුරුව කොමිසම ප්‍රශ්න කළේ තමන් ආරක්ෂක සම්බන්ධීකරණ රැස්වීමට සහභාගී වී ඇත්ද යන්නයි.

ඔහු සඳහන් කළේ 2017-09-24 දිනෙන් පසු විශේෂ හේතුවක් මත තම නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ඊට සහභාගී කෙරු බවයි.

එලෙස රැස්වීමෙන් ඉවත් වීමට හේතුව කුමක්දැයි කොමිසම මෙහිදී විමසුවා.

ඊට පිළිතුරු දෙමින් නාලක ද සිල්වා මහතා සඳහන් කළේ 2017-09-24 පැවති ආරක්ෂක සම්බන්ධීකරණ රැස්වීමෙදි එවක ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා විසින් තුර්කි ත්‍රස්ත සංවිධානයක් වූ ෆෙටෝ සංවිධානයේ ක්‍රියාකාරකම් සිදුවන බවට ලද තොරතුරු පිළිබඳ සොයා නොබැලුවේ මන්දැයි පවසමින් තමන්ට දෝෂාරෝපණය කළ බවයි.

රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා විසින් එම අනාවරණය කරන තෙක් තමන් එවැන්නක් නොදැන සිටි බවත්, එය බුද්ධි අංශ විසින් දැනුවත් කළ යුත්තක් බවත් පැවසූ නාලක ද සිල්වා මහතා වැඩිදුරත් සදහන් කළේ  T I D director වුණ පළියට බුද්ධි තොරතුරු අහසෙන් කඩන් වැටෙන්නේ නැහැ යනුවෙනි.

එවැනි තොරතුරු සැඟවීමට හේතුවූයේ එතුළින් එවකට පැවති රජයේ ප්‍රතිපත්තිවලට බලපෑමක් විය හැකි නිසා බවත් එම ක්‍රියාදාමය සාර්ථකද යන්න පාස්කු ප්‍රහාරය හා සැසදීමේදී පෙනීයන බවත් නාලක ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසුවා.

අනතුරුව ඔහු කොමිසම හමුවේ සඳහන් කළේ 2018-07-09 දින තමන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හරහා සහරාන් හෂීම් අත්ඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් ලබාගත්තද ඒ පිළිබඳව දිවයිනේ සියලු පොලිස් ස්ථාන දැනුවත් නොකළ බවයි.

වරෙන්තුව ලබා ගැනීමට පෙර නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගැනුණද විශේෂ උපදෙසක් නොලැබුනු බවත් වරෙන්තුව ලබා ගැනීමෙන් පසු එය ක්‍රියාත්මක කිරීමට ගොණු දෙකක් මගින් නීතිපතිගේ උපදෙස් ඉල්ලා සිටියත් ඊට උපදෙස් නොලැඹුණු බව ද නාලක ද සිල්වා මහතා වැඩිදුරත් සදහන් කළා.
 
මෙම කරුණ සම්බන්ධයෙන් ඉදිරියේදී කොමිසම හමුවට නිතිපති දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන් ගෙන්වා ප්‍රශ්න කරන බව ජනාධිපති කොමිසම මෙහිදී ප්‍රකාශ කළා.

මේ අතර අද පෙරවරුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන පොලිස් විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටි හිටපු නාගරික මන්ත්‍රී මදුමාධව අරවින්ද මහතාගෙන් පැයක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනුණා.

මේ අතර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර අද 4 වන දිනටත් පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන පොලිස් විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටියා.