කොරෝනා උතුරු කොරියාවටත් - කේසොන් නුවර වසා දමයි - රටවල් 40 ක ආසාදිතයන් වාර්තාගත ලෙස ඉහළ යෑමක්

Sunday, 26 July 2020 - 8:45

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+-+%E0%B6%9A%E0%B7%9A%E0%B7%83%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+40+%E0%B6%9A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B7%91%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A


කොරෝනා වෛරස් ගෝලීය ව්‍යාප්තිය තවදුරටත් සීඝ්‍රයෙන් සිදුවන අතර, ලොව රටවල් 40 ක් පමණ ගත වූ සතිය තුළ දිනක වාර්තාගත වැඩිම ආසාදිත සංඛ්‍යාව සටහන් කර තිබෙනවා.

එය පෙර සතියට සාපේක්ෂව දෙගුණයක් පමණ වන බවයි රොයිටර් විශ්ලේෂණයක් මගින් පෙන්වා දෙන්නේ.

ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය සහ ඉන්දියාව යන කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට ලක් වූ රටවල පමණක් නොව  ඕස්ට්‍රේලියාව, ජපානය, හොංකොං, බොලීවියාව, සුඩානය, ඉතියෝපියාව, බල්ගේරියාව, බෙල්ජියම උස්බෙකිස්ථානය සහ ඊශ්‍රායලය ආදී රටවලද මෙලෙස කොරෝනා වෛරස් ව්‍යාප්තිය ඉහළ ගොස් තිබෙනවා.

විශේෂයෙන් සමාජ දුරස්ථභාවය ඇතුළු නිරෝධායන සීමාවන් ලිහිල් කළ රටවල පළමු ආසාදිතයා වාර්තා වී මසක් ඇතුළත දෙවන කොරෝනා රැල්ලට මුහුණදෙන බව සඳහන්.

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් නැවතත් ලෝකවාසීන් පැරණි සාමාන්‍ය තත්ත්වයට කඩිනමින් අවතීර්ණ නොවිය යුතු බවයි.

මේ අතර තම රටේ ප්‍රථම කොරෝනා වෛරස් ආසාදිතයා බවට රෝගියෙකු හඳුනාගැනීමත් සමඟ උතුරු කොරියාව සිය දේශසීමා නගරයක් වූ කේසොං නුවර වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

එරට රාජ්‍ය මාධ්‍ය සඳහන් කළේ නීතිවිරෝධී ලෙස දේශසීමාව තරණය කොට දකුණු කොරියාව දෙසට ගොස් පැමිණි පුද්ගලයෙකු මෙලෙස ආසාදනයට ලක්ව ඇති බවයි.

මේ හේතුවෙන් උතුරු කොරියානු නායක කිම් ජොං අන් සිය දේශපාලන මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවා ඇති අතර, උපරිම හදිසි සේවා යාන්ත්‍රණයන් ඉහළම මට්ටමින් ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

මෙම සිද්ධිය තහවුරු වුවහොත් එය උතුරු කොරියාවේ ප්‍රථම නිල කොරෝනා වෛරස් ආසාදිතයා වනු ඇති.

කෙසේ නමුත් කොවිඩ් 19 ගෝලීය වසංගතය ව්‍යාප්ත වුවහොත් උතුරු කොරියානු සෞඛ්‍ය සේවා පද්ධතියට එය දරාගැනීම දුෂ්කරවනු ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

අද උදෑසනින් අවසන් වූ පැය විසි හතර තුළ නව කොරෝනා වෛරස් ආසාදිතයන් 48,661 ක් වාර්තාවීමත් සමඟ ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 13 ලක්ෂ 85,522 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන්දියාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව ඊයේ 13 ලක්ෂය ඉක්මවා ගියේ ආසාදිතයන් 12 ලක්ෂය වාර්තා කර දින දෙකක් ඇතුළතයි.

ඊයේ දිනයේදීද තවත් පුද්ගලයන් 705 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ ඉන්දියාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 32,063 ක් දක්වා ඉහළ ගියා.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය කොවිඩ් 19 පරීක්ෂණාගාර සංඛ්‍යාව මේ වනවිට 1301 දක්වා ඉහළ නැංවීමත් සමඟ ඊයේ දිනයේදී පමණක් එම පරීක්ෂාවන් හාරලක්ෂ 20,000 ක් සිදුකළ බවයි.

පසුගිය ජනවාරි මාසයේ ඉන්දියාව සතුව පැවතුණේ එවැනි එක් පරීක්ෂණාගාරයක් පමණයි.

මේ අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පාලක භාරතීය ජනතා පක්ෂයේ මන්ත්‍රීවරියක් කොරෝනා වෛරස් වසංගතය අවසන් කිරීමට නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

බෝපාල් නගරය නියෝජනය කරන පග්‍යා ඨාකූර් නැමති ඇය ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ ලබන අගෝස්තු 5 වනදා තෙක් හනුමන්තා දෙවියන් වෙනුවෙන් දිනකට පස් වරක් ස්තෝත්‍ර ගායනා කරන ලෙසයි.

එමඟින් කොවිඩ් 19 දුරු කිරීමට හැකිවනු ඇති බව ඇය ප්‍රකාශ කර තිබෙනවා. අගෝස්තු 5 වනදා අයෝධ්‍යා පුරවරයේ රාම් දෙවොල ඉදිකිරීමේ භූමි පූජා උත්සවය පැවැත්වීමට නියමිතයි.