මාස 3ක විරාමයකින් පසු වියට්නාමයට යළි කොරෝනා

Sunday, 26 July 2020 - 20:24

%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+3%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F
මාස 3ක විරාමයකින් පසු දෙවන කොරෝනා ආසාදිතයා වාර්තා වීමත් සමඟ මධ්‍යම වියට්නාමයේ ඩැනැං නුවර සමාජ දුරස්ථභාවය ඇතුළු නිරෝධායන නීති යළි පැනවීමට කටයුතු කර තිබෙනවා.

අප්‍රේල් මාසයෙන් පසු වියට්නාමයේ පළමු කොරෝනා ආසාදිතයා ඊයේ වාර්තා වූ අතර, අද උදෑසන තවත් ආසාදිතයෙකු වාර්තා වූයේ ඩැනැං නුවරින්.

ඒ අනුව එම නගරයට ඉදිරි දින 14 තුළ පිටතින් සංචාරකයන් පැමිණීම නතර කර ඇති අතර, සියළුම ආගමික ක්‍රීඩා සහ සංස්කෘතික උත්සව අත්හිටුවා තිබෙනවා.

මිලියන 95.5ක ජනගහනයක් වෙසෙන වියට්නාමයේ මුළු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 418ක් වන අතර, එරටින් කිසිදු මරණයක් වාර්තා නොවීම විශේෂත්වයක්.

කොරෝනා වෛරස් ගෝලීය වසංගතයේ දෙවන රැල්ලට මුහුණදෙන ඕස්ට්‍රේලියාවෙන් වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් ඊයේ දිනය තුළ වාර්තාවී තිබෙනවා.

නිරෝධායන වසාදැමීම් ක්‍රියාත්මක වුවද එරට ආසාදිත සංඛ්‍යාවද තවදුරටත් ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.  

ඕස්ට්‍රේලියාවෙන් ගතවූ පැය විසි හතර තුළ කොරෝනා මරණ 10 ක් වාර්තාවූ අතර, නව ආසාදිතයන් 459 ක්ද වාර්තාවී තිබෙනවා.

ගෝලීය වසංගතය ආරම්භ වූ පසු ඕස්ට්‍රේලියාවෙන් දිනකදී වාර්තාවූ වැඩිම මරණ සංඛ්‍යාව මෙයයි.  

ඕස්ට්‍රේලියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 14,403 දක්වා ඉහළ ගොස් ඇති අතර, වාර්තාවන මරණ සංඛ්‍යාව 155 ක්.  

එළඹෙන අගෝස්තු 15 වනදාට යෙදී ඇති ඉන්දීය නිදහස් දිනයේදී කොරෝනා වෛරසයෙන් මුළුමනින්ම නිදහස් වීම සඳහා ප්‍රතිඥාවකට එළඹෙන්නැයි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දීය ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව මේ වන විට 13 ලක්ෂ 89,000 ඉක්මවා ඇති අතර, එරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 32,000කට අධිකයි.

එමෙන්ම, ඇමරිකා එක්සත් ජනපදය සහ බ්‍රසීලය හැරුණු කොට කොරෝනා වෛරස් ගෝලීය වසංගතයෙන් ලොව තුන් වනුව වැඩිම පීඩාවට ලක්ව ඇති රට ඉන්දියාවයි.