CID හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර අගෝස්තු 7 දක්වා රිමාන්ඩ්

Friday, 31 July 2020 - 22:49

CID+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B6%B6%E0%B7%9A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%85%E0%B6%9C%E0%B7%9D%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+7+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
කොළඹ අපරාධ කොට්ඨාසය අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ලබන අගෝස්තු මස 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ ඔහු අද පස්වරුවේ ගම්පහ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර උදෑසන 9ට පමණ කොළඹ අපරාධ කොට්ඨාස මූලස්ථානයට රැගෙන ආ අතර, ඔහුගෙන් පැය 11කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ගියා.

ශානි අබේසේකර කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගත්තේ නාරාහේන්පිටල ඇල්විටිගල නිවාස සංකීර්ණයේ පිහිටි ඔහුගේ නිවසේදීයි.

ඒ මරණ දඬුවම නියමව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සම්බන්ධ නඩුවේ ගිනි අවි අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයකදී ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාවකට අදාළවයි.
 
ප්‍රසිද්ධ ව්‍යාපාරික මොහොමඩ් සියාම් පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන සහ තවත් සිව්දෙනෙකුට කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කළේ 2015 වසරේ නොවැම්බර් මස 27 වැනිදායි.

කෙසේ වෙතත් වාස් ගුණවර්ධනට මරණ දඬුවම නියම කළ අවස්ථාවේ ඔහු අධිකරණය හමුවේ සදහන් කළේ එවක සහකාර පොලිස් අධිකාරි ලෙස කටයුතු කළ ශානි අබේසේකර තමා සමඟ ඇති පෞද්ගලික අමනාපයක් හේතුවෙන් තම පුත්‍රයාද මෙම නඩුවට සම්බන්ධ කරගෙන ඇති බවයි.