මහ මැතිවරණයේ අවසන් ජන හමුවලට ප්‍රධාන පක්ෂ සූදානම්

Saturday, 01 August 2020 - 13:04

%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
ඉදිරි මහ මැතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන තත්ත්වය හමුවේ ප්‍රධාන පක්ෂ තම අවසන් ජන හමු සඳහා මේ වන විට සූදානම් කරමින් පවතිනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවසන් ජන හමුව හෙට පස්වරු 5ට එම පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් තංගල්ල - කාල්ටන් නිවසේදී පැවැත්වීමට නියමිතයි.

මීට අමතරව තම පක්ෂයේ අවසන් ජන හමු හෙට දවස පුරා හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම, අම්බලන්තොට, රන්න හා වීරකැටිය ප්‍රදේශවලදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළා.

එක්සත් ජාතික පක්ෂයේ අවසන් ජන හමුව හෙට පස්වරුවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මරදාන - ඩීන්ස් පාරේදී පැවැත්වීමට නියමිතයි.

ඊට අමතරව එම පක්ෂයේ තවත් ජන හමු කිහිපයක් හෙට ගාල්ල දිස්ත්‍රික්කයේ ද පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහභාගි වන අවසන් ජන හමුව හෙට පස්වරු 6ට කොළඹ - අලුත්කඩේ ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිතයි.

මීට අමතරව සජිත් ප්‍රේමදාස සහභාගි වන සමගි ජන බලවේගයේ තවත් ජන හමු හෙට දවස පුරා හෝමාගම, කොළොන්නාව සහ කඩුවෙල යන ප්‍රදේශවලදී ද පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහභාගි වන අවසන් ජන හමුව හෙට පැවැත්වීමට නියමිතව ඇත්තේ අලුත්කඬේ ජුම්මා මස්ජිද් වීදියේදියි.

මහ මැතිවරණයට අදාළව සෙසු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල අවසන් ජන හමු ද හෙට පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.