හෙරොයින් සමඟ රාජගිරියේදී ඇල්ලූ සැකකරුවන්ගේ ගිණුම් 4ක ලක්ෂ 750ක්

Saturday, 01 August 2020 - 16:46

%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%AB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+4%E0%B6%9A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+750%E0%B6%9A%E0%B7%8A


හෙරොයින් සමග ඊයේ රාජගිරියේදී අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ බැංකු ගිණුම් පරීක්ෂාවකදී, ගිණුම් 4කට රුපියල් ලක්ෂ 750කට වැඩි මුදලක් බැරවී ඇති බව වැලිකඩ පොලීසිය සිදුකළ විමර්ශනයකදී අනාවරණ වී තිබෙනවා.

ඒවා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් බවටයි සැක කෙරෙන්නේ.

හෙරොයින් ග්‍රෑම් 9 යි මිලිග්‍රෑම් 65 ක් සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී මොවුන් තිදෙනා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය ඊයේ අත්අඩංගුවට ගත්තා.

එසේම, හෙරොයින් මත්ද්‍රව්‍ය හා විදේශීය මුදල් ද ඇතුළුව රුපියල් කෝටි 6 කට ආසන්න මුදල් සමග සැකකරුවෙකු කොළඹ වරාය පොලීසිය මගින් දෙමටගොඩදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණා.

එම මත් ජාවාරම්වලට සම්බන්ධ තවත් කෝටි හතහමාරක බැංකු ගිණුම් පිළිබඳව ද තොරතුරු හෙළි වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර, චන්දන ලසන්ත පෙරේරා හෙවත් අංගොඩ ලොක්කාගේ අනුදැනුම මත මුල්ලේරියාව කැළණි නදී මාවතේ පවත්වාගෙන ගිය අනවසර වැලි තොටුපලක් හා අඹතලේ මංසන්ධියේ අනවසරයෙන් ගොඩකරමින් තිබූ වගුරු බිමක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය ඊයේ වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු සතුව තිබී අත්බෝම්බයක් හා කඩුවක් ද පොලිස් භාරයට ගත් අතර, එම කඩුව සොයා ගෙන ඇත්තේ වැලි තොටුපල අසල උණ පදුරක් යට සඟවා තිබියදීයි.

සැකකරු අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

අනවසර ගොඩ කිරීම් හා වැලිතොටුපල පවත්වාගෙන යාමට අනුබල දුන් සොල්ටා නම් අනෙක් පාතාල සාමාජිකයා ද සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මේ අතර, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත කඳාන පොලිස් වසම තුළ මත්ද්‍රව්‍ය මෙහෙයුමක් සිදුකර තිබෙනවා.

එහිදී හෙරොයින් ග්‍රෑම් 50ක් සහ රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් ද පොලිස් භාරයට ගැණුනා.

පොලීසිය පැවසුවේ වැටලීමේදී හෙරොයින් ජාවාරම මෙහෙයවූ ප්‍රධාන කාන්තාවන් දෙදෙනා ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් අද වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනාගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට මහේස්ත්‍රාත්වරයා එහිදී පොලීසියට අවසර ලබා දුන්නා.