වරායේ සත්‍යග්‍රහයට අධිකරණ නියෝගයක්

Saturday, 01 August 2020 - 18:54

%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A


කොළඹ වරායේ වෘත්තිය සමිති 23ක් එක්ව ආරම්භ කළ සත්‍යග්‍රහය මේ වනවිටත් ක්‍රියාත්මක වනවා.

ඒ හේතුවෙන් වරායේ සියලූ කටයුතු තවදුරටත් අඩාල වී ඇති බවයි ඊට එක්ව සිටින වෘත්තීය සමිති නායකයින් ප්‍රකාශ කළේ.

පසුගිය 29 වනදා ඔවුන් එය ආරම්භ කළේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබානොදී එහි මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් සිදුකරන ලෙස ඉල්ලමින්.

මේ අතර, රජය නියෝජනය කරමින් අමාත්‍ය විමල් වීරවංශ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඊයේ වරාය පරිශ්‍රයට පැමිණ විරෝධතාවයේ යෙදී සිටින වරාය සේවකයින් සමග සාකච්ඡාවක නිරත වුණා.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ කියා සිටියේ ලබන 06 වැනිදා වරාය වෘත්තීය සමිති නායකයින්ට ජනාධිපතිවරයා සාකච්ඡාවක් සඳහා පැමිණෙන ලෙස දැනුම් දුන් බවයි.

කෙසේ වෙතත්, කොළඹ වරායේ වානිජ කර්මාන්ත සහ සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ ලේකම් ශ්‍යාමල් සුමනරත්න කියා සිටියේ ජනාධිපතිවරයාගෙන් ලිඛිත පොරොන්දුවක් ලැබෙනතුරු සත්‍යග්‍රහය අඛන්ඩව ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර, වරාය ප්‍රධාන මාර්ගය අවහිර නොකරන ලෙස සහ අවට රාජ්‍ය ආයතනවලට ඇතුළුවීම මෙන්ම මහජන පීඩා ඇතිවන අයුරින් කටයුතු කිරීම වළක්වමින් සත්‍යග්‍රහයේ නිරත වරාය සේවකයින් වෙත අද පස්වරුවේ අධිකරණය නියෝගයක් නිකුත් කළා.

ඒ, වරාය පොලිසිය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්.