නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්දදායකයින්ට තවත් අවස්ථාවක් (වීඩියෝ)

Saturday, 01 August 2020 - 19:56

%E0%B6%B1%E0%B7%92%E0%B6%BD+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B1%E0%B7%9C%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්දදායකයන්ට තමාට අදාළ තැපැල් කාර්යාලයට ගොස් ලබන 04 වැනිදා මෙන්ම ඡන්ද දිනයේද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබාගැනීමට හැකියාව පවතිනවා.

ඒ පිළිබඳව පැහැදිලි කළ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ කියා සිටියේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 99% කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට බෙදාහැර ඇති බවයි.

මේ අතර, මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ මෙවර මහ මැතිවරණය සඳහා රුපියල් කෝටි 1000කට ආසන්න මුදලක් වැය වනු ඇති බවයි.

පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේ රුපියල් කෝටි 700ක මුදලක් වැය වූ අතර කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ මෙවර මහමහමැතිවරණයේදී අතිරේක වියදමක් දරන්නට සිදුව ඇති බව සඳහන්.

කොරෝනා ව්‍යාප්තිය හමුවේ මහමැතිවරණය පැවැත්වීමේදි අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ පසුගියදා ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ අතර ඒ අනුව සෞඛ්‍යාරක්ෂිතව  මහමැතිවරණය පැවැත්වීමට අවශ්‍ය සියලූ‍ කටයුතු යොදා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ.

මෙවර මහමැතිවරණය සදහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව විෂ බීජ නාශක දියර භාවිතය,ඇගිලි වර්ණ ගැන්වීම සදහා ගිනිකූරු භාවිතය මෙන්ම මැතිවරණ රාජකාරි වල නිරත නිළධාරින්ගේ සෞඛ්‍යාරක්ෂිත උපකරණ ඇතුළු ද්‍රව්‍ය වලට අතිරේක වියදමක් දැරීමට සිදුව තිබෙනවා.

එමෙන්ම සමාජ දුරස්ථ භාවය පිළිබද උපදෙස් අනුගමනය කිරීමේ දි මැතිවරණ රාජකාරි සදහා ⁣මෙවර වැඩි නිළධාරින් ප්‍රමාණයක් යෙදවීමට හා ගණන් කිරීමේ මධ්‍යස්ථාන වැඩි කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර එළැඹෙන මහ මැතිවරණය සඳහාවන ප්‍රචාරණ කටයුතු අවසන් වීමට නියමිතව ඇත්තේ හෙට මධ්‍යම රාත්‍රියෙන්.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවසන් ජනහමුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් තංගල්ල කාල්ටන් නිවසේදී පැවැත්වීමට නියමිතයි.

සමගි ජන බලවේගයේ අවසන් ජනහමුව පැවැත්වෙන්නේ කොළඹ - අළුත්කඩේ ප්‍රදේශයේදී.

ඒ එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.

එක්සත් ජාතික පක්ෂයේ අවසන් ජනහමුව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මරදාන - ඩීන්ස් පාර ප්‍රදේශයේදී පැවැත්වෙනවා.

ජාතික ජන බලවේගයේ අවසන් ජනහමුව එහි නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධාන කර තිබෙන්නේ කොළඹ - අළුත්කඩේ - ජුම්මා මස්ජිද් වීදිය ප්‍රදේශයේදීයි.

හෙට මධ්‍යම රාත්‍රියෙන් පසු කවර ආකාරයකින් හෝ මනාප අංක සහ සළකුණු ප්‍රවර්ධනය කිරීම, ගෙයින් ගෙට යාම ඇතුළු සියලු ප්‍රචාරණ කටයුතු තහනම් වනු ඇති.