මැතිවරණ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Sunday, 02 August 2020 - 7:56

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
ඉදිරි මහ මැතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රි 12න් අවසන් වනවා.

ඒ අනුව එතැන් සිට සුපුරුදු පරිදි මැතිවරණ නීති බලාත්මක විය යුතු බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.

ඒ අනුව එම කාලය තුළ ප්‍රචාරක රැස්වීම් පැවැත්වීම, වතු රැස්වීම් හෝ නිවාස තුළ රැස්වීම් පැවැත්වීම, ඡන්ද ආයාචනය කිරීම සඳහා ගෙයින් ගෙට යෑම, අත් පත්‍රිකා බෙදීම, ශාඛා කාර්යාලවල ප්‍රචාරණ පුවරු ප්‍රදර්ශනය කිරීම, පෝස්ටර්, දැන්වීම්, බැනර් ප්‍රදර්ශනය කිරීම යන කිසිදු ප්‍රචාරණ ක්‍රියාවලින් වැළකී සිටිය යුතු වනවා.

නිහඬ කාලය තුළ අනීතික ක්‍රියා වැළැක්වීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා මගින් සියළුම පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

මේ අතර, ප්‍රධාන පක්ෂ තම අවසන් ජන හමු පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර අවසන්.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවසන් ජන හමුව අද පස්වරු 05ට එම පක්ෂ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් තංගල්ල - කාල්ටන් නිවසේදී පැවැත්වීමට නියමිතයි.

මීට අමතරව තම පක්ෂයේ අවසන් ජන හමු අද දවස පුරා හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම, අම්බලන්තොට, රන්න හා වීරකැටිය ප්‍රදේශවලදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළා.

එක්සත් ජාතික පක්ෂයේ අවසන් ජන හමුව අද පස්වරුවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මරදාන - ඩීන්ස් පාරේදී පැවැත්වීමට නියමිතයි.

ඊට අමතරව එම පක්ෂයේ තවත් ජන හමු කිහිපයක් අද ගාල්ල දිස්ත්‍රික්කයේ ද පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහභාගි වන අවසන් ජන හමුව අද පස්වරු 6ට කොළඹ - අලූත්කඩේ ප්‍රදේශයේදී පැවැත්වෙනවා.

මීට අමතරව සජිත් ප්‍රේමදාස සහභාගි වන සමගි ජන බලවේගයේ තවත් ජන හමු අද දවස පුරා හෝමාගම, කොළොන්නාව සහ කඩුවෙල යන ප්‍රදේශවලදී ද පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන්.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහභාගි වන අවසන් ජන හමුව අද පැවැත්වීමට නියමිතව ඇත්තේ අලූත්කඩේ ජුම්මා මස්ජිද් වීදියේදියි.

මහ මැතිවරණයට අදාළව සෙසු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල අවසන් ජන හමු ද අද පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.