මහ මැතිවරණයට සියල්ල සූදානම් - ඡන්ද නීති කඩන්නන් සොයා අද සිට ජංගම සංචාර (වීඩියෝ)

Monday, 03 August 2020 - 13:00

%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+-+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%A9%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%A2%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


අනිද්දා (05) පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් කර අවසන් බව මැතිවරණ කොමිසන් සභාව ප්‍රකාශ කළා.

ඡන්ද විමසීම අනිද්දා පෙරවරු හතට ආරම්භවීමට නියමිත අතර, මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් සඳහා පිළිගත් දේශපාලන පක්ෂ විස්සකින් මෙන්ම ස්වාධීන කණ්ඩායම් 34 කින් අපේක්ෂකයන් 7,452කු ඡන්ද සටනට එක්ව සිටිනවා.

ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව එක්කෝටි 62 ලක්ෂ 63,885ක්.

දිවයින පුරා පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 12,984ක් වනවා.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව මෙවර මහ මැතිවරණය පැවැත්වීම විශේෂත්වයක්.

ඒ අනුව ඡන්ද මධ්‍යස්ථාන විෂබීජහරණය කිරීමේ කටයුතු අද (03) දිනයේදීත් සිදු කෙරෙනවා.

එසේම ඡන්ද පෙට්ටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන්ට නිකුත් කිරීමට නියමිතව ඇත්තේ හෙට (04) දිනයේදියි.

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිට පස්දුන් රට අධ්‍යාපන විද්‍යා පීඨය දක්වා ඡන්ද පෙට්ටි රැගෙන යාම අද (03) පෙරවරුවේ ආරම්භ වුණා.

එසේම මහ මැතිවරණයට කාලගුණයෙන් බාධා මතුවුවහොත් ඊට මුහුණදීමට අවශ්‍ය සියලූ පියවර ගෙන ඇති බවයි කළුතර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී යූ.ඞී.සී. ජයලාල් සඳහන් කළේ.

එමෙන්ම මැතිවරණ කටයුතු සඳහා තෝරාගෙන සිටි ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් දසදෙනෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලින් ඉවත් කිරීමට නුවරඑළිය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරයා පියවර ගෙන තිබෙනවා.

ඔවුන් කිසියම් දේශපාලන පක්ෂයක රැස්වීම් වලට සහභාගිවී ඇති බවට ලද පැමිණිලි මත මෙම පියවර ගත් බවයි තේරීම්භාර නිලධාරි රෝහණ පුෂ්පකුමාර කියා සිටියේ.  

මේ අතර මහමැතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු ඊයේ (02) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.

පොලිස් මූලස්ථානයේ අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න කියා සිටියේ මැතිවරණ නීති කඩකරන්නන් සොයා අද (03) පස්වරුවේ සිට ජංගම මුර සංචාර ක්‍රියාත්මක කරන බවයි.  

මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධි 264 ක් මේ වනවිට පොලීසියට වාර්තා වී ඇති අතර එම සිද්ධීන්වලට අදාලව අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 440ක්.

මොවුන් අතර අපේක්ෂකයින් 07 දෙනෙකු ද වනවා.