රිමාන්ඩ් කළ හිටපු බන්ධනාගාර අධිකාරී සම්පායෝ, මීගමුවේ සිට දුම්බරට - ඇප ඉල්ලීමටත් විරෝධය

Monday, 03 August 2020 - 19:46

%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BA%E0%B7%9D%2C+%E0%B6%B8%E0%B7%93%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B6%A7+-+%E0%B6%87%E0%B6%B4+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් කේ.ජී. ගුණදාසගේ නියෝගයකට අනුවයි.

වරෙන්තු නිකුත් කර දින 11කට පසු අනුරුද්ධ සම්පායෝ ඊයේ කුරුණෑගල දී පොලීසිය අත්අඩංගුවට ගනු ලැබූ අතර, පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙනු ලැබුවා.

අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර හිටපු බන්ධනාගාර අධිකාරීවරයා මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර වෛද්‍ය පරීක්ෂණයකට ද භාජනය කෙරුණා.

පසුව අද පස්වරු 2.30ට පමණ මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙහිදී අනුරුද්ධ සම්පායෝ වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරයා ඇප ඉල්ලීමක් සිදුකළ අතර, එය ප්‍රතික්ෂේප කරමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් දැඩි විරෝධයක් පළ කළා.

එහිදී ඔහු කියා සිටියේ සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ටයි කෝට් ඇඳ, එසේම ලංකා ඉතිහාසයේ පළමු වරට ද්විත්ව සැකකරුවෙකු පොලිස් ජීප් රථයක පසුපස සැප පහසු අසුනක හිඳගෙන මාධ්‍යයට ඉතා සැහැල්ලුවෙන් ප්‍රකාශ ඉදිරිපත් කළ බවයි.

සැකකරු අද අධිකරණයට පැමිණියේ මුඛ ආවරණයක් හෝ නොමැතිව බවත්, ඔහු අත්අඩංගුවට ගැනීමට මීගමුව පොලීසිය කිලෝමීටර් 72ක් ගොස් ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා.

කෙසේ වෙතත්, සැකකරු අත්අඩංගුවට නොගත් බවත්, ඔහු භාර වූ බවත් පොලිස්පතිවරයා අද ප්‍රකාශ කළ බවයි මෙහිදී අනුරුද්ධ සම්පායෝ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ.

විවිධ පුද්ගලයන්ගේ ප්‍රකාශ පිළිබද තමන් නොදන්නා අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා වී ඇත්තේ අත්අඩංගුවට ගත් බවට යැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඊට ප්‍රතිචාර පළ කළා.

අධිකරණයට භාර වීම ප්‍රමාද වූයේ වරෙන්තුව නීතිවිරෝධී බවට තම පාර්ශවය අභියාචානාධිකරණයට ගිය නිසා බව ද විත්තියේ නීතිඥවරයා ප්‍රකාශ කර තිබෙනවා.

එහෙත් රජය අපහසුතාවට පත් නොකර භාර වන ලෙස ඉල්ලීමක් කළ බැවින් භාර වූ බවත්, විත්තියේ නීතිඥවරයා සඳහන් කළා.

එසේම, අද පොහොය දිනයක් බැවින් රජයේ නිවාඩු දිනයක් වන නිසා අද වන් දිනෙක නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරන්නේ කෙසේදැයි අනුරුද්ධ සම්පායෝ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විමසා තිබෙනවා.

ඊට අවශ්‍ය විශේෂ වුවමනාව කුමක්දැයි ඔහු විමසා ඇති අතර, එම නිසා සැකකරුට එල්ල කර ඇති චෝදනා ඇප පනත අනුව ඇප දිය හැකි වරදක් බැවින් ඇප ලබාදෙන ලෙසටයි විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

කෙසේ වෙතත්, ඇප ඉල්ලීමට තමන් දැඩි ලෙස විරුද්ධ වන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර තිබෙනවා.

එසේම මෙම නඩු කටයුත්තේ දී මාධ්‍යවේදීන්ට අධිකරණ පරිශ්‍රය තහනම් කිරීම පිළිබදව ද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී අප්‍රසාදය පළ කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන තවමත් අවසන් වී නොමැති බැවින් සැකකරු හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මෙහිදී කරුණු සලකා බැලූ වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

එහිදී අනුරුද්ධ සම්පායෝ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ බන්ධනාගාර ගත කරන්නේ නම්, මීගමුව බන්ධනාගාරය තුළ විත්තිකරුට මරණීය තර්ජන පවතින බැවින් එම බන්ධනාගාරය හැර කොළඹ හෝ වෙනත් තැනකට යොමු කරන ලෙසටයි.

කෙසේ වෙතත්, එය බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් තීරණය කළ යුතු බව මහේස්ත්‍රාත්වරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

මේ අනුව සැකකරු දුම්බර බන්ධනාගාරය වෙත යොමු කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු කටයුත්ත හෙට යළි මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැදවීමට නියමිතයි.