නාකොටික් නිලධාරීන් 13 දෙනා යළි රිමාන්ඩ් (වීඩියෝ)

Tuesday, 04 August 2020 - 11:52

%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+13+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


තම භාරයට ගත් මත්ද්‍රව්‍ය තොග යළිත් ජාවාරම්කරුවන්ටම අලෙවි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් මත්ද්‍රව්‍ය තොග ජාවාරම් කිරීමේ සිද්ධීන්වලට සම්බන්ධ වී ඇති ආකාරය දැක්වෙන සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් අද අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කියා සිටියේ එම මත්කුඩු ජාවාරමෙන් එක් එක් සැකකරුවෙකු රුපියල් ලක්ෂ 10 සිට 17 දක්වා මුදලක් උපයා ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි.

නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දුන් හෙරොයින් කිලෝග්‍රෑම් 281.5ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 46.5ක් මෙම සැකකරුවන් අවභාවිතයට ලක් කර ඇති ආකාරය අදාළ වාර්තාව මගින් දක්වා ඇති බව ද ඔහු කියා සිටියා.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු වන පොලිස් පරීක්ෂක උදාර චතුරංග භාරයේ තිබී වාහන 4ක් සොයා ගත් බවත්, ඒවායේ අමතර රෝදය රදවන ස්ථානයේ මත්ද්‍රව්‍ය තිබූ බවට සලකුණු ඇතැයි රජයේ රස පරීක්ෂකවරයා දන්වා ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී ප්‍රකාශ කළා.

සැකකරුවන් ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගෙන් ගිනි අවි ද ලබාගෙන ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

ඉන් එකක් සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු වන ලයනල් ජයරත්න නැමැත්තා භාරයේ තිබී සොයා ගත් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.

ඔහු කියා සිටියේ පසුගිය දා අත්තිඩිය ප්‍රදේශයෙන් සොයා ගත් ගිනි අවි 4 එම අවියට සමාන බවයි.

එසේම, රස පරීක්ෂකවරයා වෙත යොමු කළ මත්ද්‍රව්‍ය නාෂක කාර්යාංශයේ තිබූ හෙරොයින් පැකට් 23න් 22ක්ම කපා ඇති බව බැලූ බැල්මට පෙනී ගොස් ඇතැයි ඔහු සඳහන් කළා.

අදාළ හෙරොයින් තොග නඩු භාණ්ඩ කාමරයට භාරදීමට පෙර යම්කිසි ද්‍රව්‍යයක් මිශ්‍ර කර ඇති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළ අතර, ඒ අනුව මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ ඒ පිළිබදව ද රස පරීක්ෂක වාර්තාවක් ලබා ගන්නා ලෙසයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විශාල ලෙස මුදල් ආයෝජනය කරමින් මෙරටට ගෙන්වනු ලබන මත්ද්‍රව්‍ය තොග පිළිබදව ඔවුන්ගේ ම සමීපතමයන් තොරතුරු ලබාදී තිබෙනවා. ඒ සඳහා සැකකරුවන් එම ඔත්තුකරුවන්ට ලක්ෂ ගණනින් මුදල් ගෙවා ඇති බව ද සඳහන්.

ඒ අනුව සැකකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බව කියන රුපියල් 32,793,000ක මුදල අධිකරණ භාරයේ පවතින ගිණුමක තැන්පත් කිරීම සඳහා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කළ ඉල්ලීමට ද අධිකරණය අවසර ලබාදුන්නා.

නඩුවේ විත්තිකරුවන් කිහිප දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ තම සේවාදායකයන් වෙනුවෙන් ඇප ඉල්ලීමක් සිදුකළත්, මහේස්ත්‍රාත්වරිය එය ප්‍රතික්ෂේප කළා.

ඒ අනුව සැකකරුවන් මේ මස 18 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර, අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ඔවුන් 13 දෙනා අද අධිකරණයට ඉදිරිපත් නොකෙරුණේ කොරෝනා තත්ත්වය හේතුවෙන්.

මේ අතර, මෙම සිද්ධියට අදාළ තවත් නඩුවක් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී කැදවනු ලැබුවා.

එහිදී නීතිපති දෙපාර්තමේන්තුව දන්වා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරියෙකු වන සමන් කුමාර ජයසිංහගේ බැංකු ගිණුම්වලින් රුපියල් දෙකෝටි හතලිස් එක්ලක්ෂයට අධික මුදලක් අවස්ථා 53කදී ලබාගෙන ඇති බවයි.