බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය රැගෙන එන විකල්ප ක්‍රමවේද වැළැක්වීම ගැන අවධානය

Tuesday, 04 August 2020 - 12:50

%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%91%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%80%E0%B7%9A%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA
බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය රැගෙන ආ හැකි විකල්ප ක්‍රමවේද වැළැක්වීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබෙනවා.

ඒ, බළලෙකුගේ ගෙලේ බැඳ කොළඹ මැගසින් බන්ධනාගාරයට මත් කුඩු එවා තිබීමේ සිද්ධියක් අනාවරණය වීමත් සමඟයි.

මෙය ජාත්‍යන්තර මාධ්‍යයේ පවා කතා බහට ලක්වන ප්‍රවෘත්තියක් වී ඇති අතර බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සඳහන් කළේ මෙම බළලා බන්ධනාගාරයේ ඇති දැඩි කළ සත්වයෙකු නොවන බවයි.

බන්ධනාගාර ආඥා පණත අනුව බන්ධනාගාර තුළ සතුන් ඇති කිරීම වරදක් වන අතර බන්ධනාගාරය අවටින් මෙවැනි සතුන් පැමිණෙන බව කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

මේ වනවිට බන්ධනාගාර තුළට මත් කුඩු රැගෙන ඒම වැලැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමත් සමඟ ඊට සම්බන්ධ පිරිස් මෙවැනි විකල්ප ක්‍රමවේදයන්ට යොමුවිය හැකි බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ.  

මීට අමතරව වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට ඉහලින් දැල් ආවරණයක් සවි කිරීම පිළිබඳවද අවධානය යොමු වී ඇති බව ඔහු සඳහන් කළා.

එමෙන්ම අත්අඩංගුවේ පසුවන මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ කෑගල්ල බන්ධනාගාර ප්‍රධානියාව සිටියදී රැදවියෙකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිළධාරීන් 03 දෙනෙකුට සහ ජේලර්වරුන් 02කට චෝදනා පත්‍ර යොමු කර ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ප්‍රකාශ කළේ.

මේ අතර බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ අද පස්වරුවේ යළි මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ සදහා ඔහු අද උදෑසන දුම්බර බන්ධනාගාරයෙන් රැගෙන ආ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. වරෙන්තු නිකුත් කර දින 11කට පසු අනුරුද්ධ සම්පායෝ කුරුණෑගල දී පොලීසිය අත්අඩංගුවට ගනු ලැබූ අතර, පසුව මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් කේ.ජී. ගුණදාස  හමුවට ඊයේ ඉදිරිපත් කිරීමෙන් පසු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ අනුව දුම්බර බන්ධනාගාරය වෙත යොමු කෙරුණු ඔහු එහි අලූත් රැදවියන් රදවන ස්ථානයේ රදවා සිටි බවටයි වාර්තා වන්නේ.

මේ අතර අද දිනයේදී අදාළ චෝදනාව සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින, සෙසු බන්ධනාගාර නිලධාරීන් තුන් දෙනා ද අද දිනයේදී මීගමුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.